ගැටුම්කාරී තත්වය මැද ඊජිප්තුවේ මාධ්‍ය දඩයමක්

egypt protests
Image caption මාධ්‍යවේදියා සිය රැකියාව අත්හැර ඉවත්ව ගොස් තිබෙන්නේ,ඔහුගේ වැඩ සටහනට ආණ්ඩුව ඇඟිලි ගසන බවට චෝදනා කරමින්.

ඊජිප්තු ජනාධිපති මොහමඩ් මුර්ෂිගේ ආධාරකරුවෝ සිය නායකයාට සහයෝගය පළ කරමින් රටපුරා මහජන රැළි සංවිධානය කරමින් සිටිති.

ජනාධිපති මුර්ෂිගේ ආධාරකරුවන් එක්රැස් වෙන මුස්ලිම් පල්ලියක් කරා මහ ජනතාව දහස් ගණනින් ඇදී එමින් සිටි බවයි, ඊජිප්තුවෙන් වාර්තාවන්නේ.

ජනාධිපති මොහමඩ් මුර්ෂි බලයට පත් වී අවුරුද්දක් ගත වීමත් සමඟ, ඊජිප්තු විපක්ෂය විසින් ලබන ඉරිදා පැවැත්වීමට සංවිධානය කොට ඇති විරෝධතා රැලිය අඩාළ කර දැමීමයි,ජනාධිපතිවරයාට පක්ෂ බලවේගයේ උත්සාහය වන්නේ.

ඊජිප්තු විපක්ෂය කියා සිටින්නේ ජනාධිපති මුර්ෂි පදවියෙන් ඉවත්ව යා යුතු බවයි.

මාධ්‍ය දඩයම

ජනාධිපති මුර්ෂි ,අකාර්යක්ෂම පාලකයකු වන බව විපක්ෂය විග්‍රහයයි.

ජනාධිපතිවරයාට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් ඊයේ රාත්‍රියේ උතුරු ඊජිප්තුවේදී ගැටුන බවක් ද වාර්තා විය.

මේ අතර චන්ද්‍රිකා රූපවාහිනී ජාලයක් වසා දැමීමට පියවර ගත් ඊජිප්තු පාලනය ,මහජනතාව අතර කුපිතකාරී අදහස් පතුරුවා හරින ලදැයි චෝදනා කරමින්, මුල් පෙළේ මාධ්‍යවේදියකු අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇත.

තමා අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව සැල වීමෙන් අනතුරුව තව්පික් ඔකාෂා (Tawfik Okasha) නම් එම මාධ්‍යවේදියා ඊයේ රාත්‍රියේ ඔහුගේ සජීවී වැඩ සටහන හදිසියේම නතර කරන ලද බවයි වාර්තා වන්නේ.

ඊජිප්තු රාජ්‍ය රූපවාහිනියේ මුල් පෙළේ මාධ්‍යවේදියෙක් ද ඉන් ඉවත්ව ගිය බව ප්‍රකාශයට පත් කෙරුණි.

එම මාධ්‍යවේදියා සිය රැකියාව අත්හැර ඉවත්ව ගොස් තිබෙන්නේ,ඔහුගේ වැඩ සටහනට ආණ්ඩුව ඇඟිලි ගසන බවට චෝදනා කරමින්.

පසුගිය බදාදා ප්‍රකාශයක් කළ ඊජිප්තු ජනාධිපති මොහමඩ් මුර්ශි, අදහස් ප්‍රකාශනයේ නිදහස අයුතු ආකාරයට පාවිච්චි නොකරන ලෙස අනතුරු ඇඟවීමක් කරනු ලැබ තිබුණි .