බොලීවියානු ජනාධිපතිගේ ගුවන් යානයේ මග අවුරයි

Image caption බොලිවියාවේ ජනාධිපතිවරයාට සහයෝගය දක්වමින් ප්‍රංශ තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත් විණි.

බොලිවියාවේ ජනාධිපතිවරයා ගමන් කරමින් සිටි ගුවන් යානයේ මග අවුරමින් ඕස්ට්‍රියාවට හරවා යවා තිබේ.

එක්සත් ජනපදයේ රහස් තොරතුරු හෙළිදරවු කළ හිටපු බුද්ධි අංශ ඔත්තුකරු එඩ්වර්ඩ් ස්නෝඩන් එම ගුවන් යානයේ සිටින බවට සැක කළ නිසයි යුරෝපා ගුවන් කලාපයේ බලධාරීන් මෙම ගුවන් යානයට මග අවුරා තිබෙන්නේ.

මෙය ආක්‍රමණශීලී ක්‍රියාවක් බව එක්සත් ජාතීන්ගේ බොලිවියානු තානාපති සාචා සෝලිස් බීබීසියට කියා සිටියේය.

මොස්කව් බලා යමින් සිටි බොලිවියානු ජනාධිපතිවරයාගේ ගුවන් යානයේ පලායමින් සිටින ඔත්තුකරු නොසිටි බව ඔස්ට්‍රියානු ගුවන් බලධාරීන් විසින් පසුව නිවේදනය කරන ලදී.

ඉන් අනතුරුව බොලිවියානු ජනාධිපතිවරයාට මොස්කව් බලා යාමට ඉඩ දී තිබේ.