එඩ්වර්ඩ් ස්නෝඩන්ට රැකවරණ දීමට රටවල් දෙකක්

Image caption එඩ්වර්ඩ් ස්නෝඩන් , මොස්කව් ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි රැඳී සිටින බවට අදහස් පළවෙමින් පවතී.

පළායමින් සිටින ඇමෙරිකානු රහස් ඔත්තු විශ්ලේෂක එඩ්වර්ඩ් ස්නෝඩන්ට ( Edward Snowden) දේශපාලන රැකවරණ ප්‍රදානය කිරීමට තමන් සූදානම් යයි වෙනිසියුලාවේ සහ නිකරගුවාහි නායකයෝ ප්‍රකාශ කර ඇත.

නිකරගුවා ජනාධිපති ඩැනියෙල් ඔටේගා පවසන්නේ,සැලකිල්ලට භාජනය විය යුතු පසුබිම් කරුණු මගින් බාධාවක් ඇති නොවන්නේ නම්,තම ආණ්ඩුව විසින් එඩ්වර්ඩ් ස්නෝඩන් (Edward Snowden) භාර ගනු ලබන බවයි.

මොස්කව් නගරයේ සිට වෙනිසියුලාවට හෝ නිකරගුවා කරා කෙලින්ම පියාසර කරන ගුවන් යානා නොමැති හෙයින් එම දෙරටින් එකක ස්නෝඩන්ට රැකවරණ දීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගනු ලබන්නේ කෙසේද යන්න අපැහැදිලි බවයි වාර්තාකරුවන් පවසන්නේ.

එඩ්වර්ඩ් ස්නෝඩන් , රුසියාවේ මොස්කව් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ගුවන් මගීන් වෙනත් රටවල් සඳහා මාරුවෙන කලාපයේ රැඳී සිටින බවට අදහස් පළවෙමින් පවතී.

ඇමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යුත් රහස් ඔත්තු අංශයේ තොරතුරු පිටකිරීම සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගැනීමට වොෂින්ටන් බලධාරීන්ට අවශ්‍යයි.