පළාගිය ඉන්දුනීසියානු සිරකරුවන් තවමත් නිදැල්ලේ

Image caption පළා ගොස් ඇති සිරකරුවන් අතර, ත්‍රස්තවාදී චෝදනා යටතේ බන්ධනාගාර ගතකරනු ලැබ සිටි පස් දෙනෙක් ද සිටින බවයි වාර්තාවන්හි දැක්වෙන්නේ.

ඉන්දුනීසියාවේ සිරගෙයක් බිඳ පළා ගිය එකසිය පනහකට අධික සිරකරුවන් තවමත් නිදැල්ලේ සිටින බව ජකර්තා අගනුවරින් ලැබෙන වාර්තා මගින් ප්‍රකාශ වෙයි.

පළා ගොස් ඇති සිරකරුවන් අතර, ත්‍රස්තවාදී චෝදනා යටතේ බන්ධනාගාර ගතකරනු ලැබ සිටි පස් දෙනෙක් ද සිටින බවයි ,එම වාර්තාවන්හි දැක්වෙන්නේ.

ඉන්දුනීසියානු පොලිස්පති ජනරාල් තිමුර් ප්‍රදෝපෝ (General Timur Pradopo)ප්‍රකාශයක් කරමින්, විදුලි බලය කප්පාදු කිරීමේ සිද්ධියකට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගෙන යමින් පවතිද්දී, සුළු කාලයකට බන්ධනාගාරයේ පාලනය තමන් අතට ගත් සිරකරුවන් උතුරු සුමාත්‍රා සිරගෙයින් පළා ගොස් ඇති බවයි කියා සිටියේ.

සිය ගණනක පොලිස් සහ යුද හමුදා සේනාංකයක් බන්ධනාගාරය යළි ආණ්ඩුවේ පාලනය යටතට ගැනීමේ ඒකාබද්ධ උත්සාහයක නිරත වෙමින් සිටින අතර, පරීක්ෂක කණ්ඩායම් පළා ගිය සිරකරුවන් අල්ලා ගැනීමේ අවට ප්‍රදේශය පීරමින් සිටින බවත් වාර්තා වෙයි.

බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ,ඉන්දුනීසියාවේ බන්ධනාගාරවල නිතරම මෙන් ඒවාට ඔරොත්තු නොදෙන තරම් සිරකරුවන් රඳවා තබන අතර, මනා කළමනාකාරිත්වයක් ද නොමැති බවයි.