ප්‍රංශයේ දුම්රිය අනතුරට හේතුව ධාවන මාර්ගයේ තාක්ෂණික දෝෂයක්

දකුණු ප්‍රංශයේදී නගරාන්ත දුම්රියක් පීලි පැනීමෙන් සිදු වූ අනතුරට හේතුව දුම්රිය ධාවන මාර්ගයේ පැවති තාක්ෂණික දෝෂයක් යයි SNCF ප්‍රංශ දුම්රිය සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අනතුර සිදු වුන බ්රෙතිනි සියෝ ඔර්ෂෙ (Bretigny-sur-Orge) අසළ දුම්රිය ධාවන මාර්ගයේ පීලි සම්බන්ධ කෙරෙන ලෝහ තහඩුවක් විසන්ධි වීම අනතුරට හේතුව බවයි SNCF ප්‍රංශ දුම්රිය සමාගමේ සොයා ගැනීම.

එම දුම්රිය අනතුරින් අඩුතරමින් හය දෙනකුවත් මරණයට පත් වූ බවයි නිවේදනය කෙරුනේ.

පීලි පැනීමට ලක් වූ දුම්රියේ මැදිරි උඩුකුරුව පෙරැලී තිබෙනු දක්නට ලැබුන අතර ,ප්‍රංශ විචාරකයන් පවසන්නේ, එවැනි දරුණු තත්වයක් තුළ මගීන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත විනාශ නො වීම ආශ්චර්යක් වූ බවයි.

තමා පැදවූ දුම්රිය පෙරළීමත් සමඟ අනතුරු ඇඟවීමේ නලාව හඬවමින් වෙනත් දුම්රිය එහි ලඟාවීම

වලක්වාලීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සම්බන්ධයෙන් දුම්රිය රියැදුරා විශේෂ ප්‍රශංසාවට ලක් කෙරුණ බවත් ප්‍රංශයෙන් ලැබෙන වාර්තාවන්හි දැක්වේ.

මෙම අනතුර සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පවත්වන බවට ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් දී ඇත.