යුධ අපරාධ අධිකරණය 'දේශපාලන උවමනාවන් සඳහා'

Image caption මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ, වද හිංසා පැමිණවීම්, කුමන්ත්‍රණය කිරීම්, මැර කල්ලි සංවිධානය ආදී චෝදනා සියල්ලටම

බංගලාදේශයේ යුද අපරාධ සඳහා 90 වසරකට සිරගත කරුණු ගුලාම් අසාම් වෙනුවෙන් අධිකරණයක් පිහිටුවනු ලැබුයේ දේශපාලන උවමනාවන් සඳහා බවට ඔහුගේ පුත්‍ සල්මන් අල් අසාමි චෝදනා කරයි.

නඩු තීන්දුවට එරෙහිව රට පුරා මහා වැඩ වර්ජනයක් පැවැත්වීමට ඉස්ලාම්වාදී ජමාත් ඊ ඉස්ලාම් පක්ෂය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර ගුලාම් අසාම්ගේ අධාරකරුවන් ඩකා නුවර වීදි බැස සිටි හෙයින් ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය රබර් උණ්ඩ භාවිතා කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය.

රෝද පුටුවෙන් සිරගෙට

තමාට එරෙහිව ඉදිරිපත් කර ඇති සියලුම චෝදනා ප්‍රතික්ෂේප කළ අනූ එක් වියැති ගුලාම් අසාම් අධිකරණයට පැමිණියේත්, තීන්දුවෙන් අනතුරුව සිර ගෙදරට ගෙන ගියෙත් රෝද පුටුවකින්.

මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ, වද හිංසා පැමිණවීම්, කුමන්ත්‍රණය කිරීම්, ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දීම්, මැර කල්ලි සංවිධානය ආදී චෝදනා සියල්ලටම ජමාත් ඊ ඉස්ලාම් පක්ෂයේ නායක ගුලාම් අසාම් වරද කරු විය.

1971 දී සිවිල් යුද්ධයකට මුල පුරමින් පකිස්තානය බටහිර සහ නැගෙනහිර වශයෙන් බෙදුණු අතර එවකට නැගෙනහිර පකිස්තානු වාසීව සිටි ජනතාව ස්වාධීන රාජ්‍යයක් ඉල්ලා සිටියේය.

මෙහිදී ඇතිවූ ගැටුම් නිසා කෝටියක් පමණ නැගෙනහිර පකිස්තානු වාසීන් දිවි බේරා ගැනීම සඳහා ඉන්දියාවට පළා ගිය අතර පකිස්ථානයෙන් වෙන් නොවිය යුතුය යන මතයේ සිටි ගුලාම් අසාම් බටහිර පකිස්තානු හමුදාවට පක්ෂව සන්නද්ධ සටනට එළැඹිණි.

මේ අතර තුර 1971 දෙසැම්බරයේදී ඉන්දියාව නැගෙනහිර පකිස්තානය ආක්‍රමණය කළේ නැගෙනහිර පකිස්තානු වාසීන්ගේ සහයෝගය ද ඇතිවයි.

මෙහිදී බටහිර පකිස්තානු හමුදා භටයන් අනූ දහසක් ඉන්දීය හමුදාවේ සිරකරුවන් බවට පත්වූ අතර නැගෙනහිර පකිස්තානය බංගලාදේශය නමින් වෙනම රාජ්‍යයක් බවට පත් වුණා.

බංගලාදේශ නිදහස් සටනේදී තිස් ලක්ෂයක් පමණ ජනතාව මරණයට පත් වූ බවයි එරට බලධාරීන් කියා සිටින්නේ.