ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතන්නන් 'පැපුවා නිව්ගිනියාවට යවනවා'

Kevin Rudd
Image caption 'මිනිසුන් පැටවීමේ නිරත කල්ලි සහ ඔවුන්ගේ ජාලවලට ඉතාම තදබල පණිවුඩයක් දීමට අපි අදහස් කරනවා'

ඉදිරි කාලයෙහි බෝට්ටු මගින් පැමිණ දේශපාලන රැකවරණ පතන්නන්ට තමරට තුළ පදිංචි වීමට අවසර නොදෙන බව ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ් ප්‍රකාශ කරයි.

අගමැති වරයා එම ප්‍රකාශය කරන්නේ මීළඟ මහ මැතිවරණය ඉදිරියේ තිබියදී.

ඕස්ට්‍රේලියානු සමස්ථ ආගමන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන පිළිවෙතේ කොටසක් වශයෙන් ඉහත කී ප්‍රකාශය කළ අගමැතිවරයා, ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතන්නන් පැපුවා නිව්ගිනියාහි පදිංචි කරවීමේ එක් අවුරුදු සැලැස්මක් එරට සමඟ අත්සන් කර ඇති බවයි නිවේදනය කළේ.

එම ගිවිසුම අනුව අලුතින් පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් තීන්දු ගනු ලබන තෙක් ඔවුන් පදිංචි කරනු ලබන්නේ පැපුවා නිව්ගිනියාවේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය

තවදුරටත් අදහස් දක්වන අගමැති කෙවින් රඩ් දේශපාලන රැකවරණ පතන අව්‍යාජ පුද්ගලයන් එහි රඳවා තබන අතර, අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන පුද්ගලයන් ඔවුන්ගේ මව් රටට හෝ තුන්වැනි රටකට යොමු කෙරෙන බවත් කියා සිටියි.

“ලෝකය පුරා ක්‍රියාත්මක වෙමින් පවතින රටින් රටට මිනිසුන් පැටවීමේ නිරත ජාවාරම් කල්ලි සහ ඔවුන්ගේ ජාලවලට අපේ ආණ්ඩු ඉතාම තදබල පණිවුඩයක් දීමට අදහස් කරනවා. ඔවුන්ට සහ එවැනි ජාවාරම්වලට උදව් කරන ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වෙන සාපරාධී බලවේගවලටත් අපි කියා සිටින්නේ, ඔවුන්ගේ අනාගත බලාපොරොත්තුවලට තවදුරටත් ඉඩක් නොතබන බවයි," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතන බහුතරය පැමිණෙන්නේ ඉරාකය, ඇෆ්ඝනිස්තානය සහ ශ්‍රී ලංකාව වැනි රටවලින් බව වාර්තාකරුවෝ පෙන්වා දෙති.

මේ අතර, අගමැති කෙවින් රඩ්ගේ නව සංක්‍රමණික පිළිවෙතට ඕස්ට්‍රේලියානු හරිත ව්‍යාපාරයේ බලවත් කෝපය පල වී තිබේ.

අනාථයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවට තිබෙන වගකීම ආණ්ඩුව විසින් පැහැර හරිනු ලැබ ඇති බවයි, එයට ප්‍රතිචාරය පළ කරන ඕස්ට්‍රේලියානු හරිත ව්‍යාපාරයේ සෙනෙට් මන්ත්‍රීනී සාරා කොරල් හැන්සන් කියා සිටියේ.