සෙබළ මරණයක් නිසා තායිවාන් ආරක්ෂක ඇමතිවරයාට පදවිය අහිමි වෙයි

  • 29 ජූලි 2013
කෝප්‍රල්වරයාගේ මව මාධ්‍ය හමුවක දී සිය පුතුගේ මරණය ගැන අදහස් දක්වමින්.

තායිවානයේ ආරක්ෂක ඇමති කාඕ හුවා චු(Kao Hua-chu) පදවියෙන් ඉල්ලා අස් වූ බව නිවේදනය කෙරිණ.

ඇමතිවරයාට එවැනි පියවරක් ගැනීමට සිදු වුනේ,යුද හමුදා කඳවුරක රඳවා සිටි ආධුනික සෙබළකු මරණයට පත් වීමේ සිද්ධියක්.

කෝප්‍රල් හුන්ග් චුන්ග් චියු (Hung Chung-chiu) නම් සෙබළා,ඔහුට දඬුවමක් වශයෙන් ඉතාම බරපතළ ශාරීරික අභ්‍යාශයන්හි නිරත කරනු ලැබ සිටියදී අධිතාපය නිසා ගොදුරු වූ හෘදයාබාධයකින් පසුගිය ජුලි තුන් වෙනිදා මරණයට පත් වීමෙන් පසුවයි මෙම ප්‍රශ්නය ආරම්භ වුනේ.

මහජන කෝපය

කෝප්‍රල් හුන්ග් චුන්ග් චියු, ඔහුට නියමිත වසරක අනිවාර්ය යුද පුහුණුව සම්පූර්ණ කිරීමේදී තුන්දිනක් ඉන් බැහැරව සිටීමයි, ඔහු ඉහත කී දඬුවමට යටත් කිරීමට හේතුව වී තිබුණේ.

කෝප්‍රල් වරයාගේ මරණය සම්බන්ධයෙන් තායිවාන් යුද නිලධාරීන් හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.

මෙම සිද්ධිය තායිවානය තුල මහජන කෝපය ඇවිල යාමට හේතු වූ අතර,ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර දියත් කෙරෙමින් තිබුන බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

ආරක්ෂක ඇමති, කාඕ හුවා චු ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩුව නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා පත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

යුද හමුදා පුහුණුවට අනුයුක්ත කරනු ලැබ සිටි විදුහල්පති වරයකු හෘදයාබාධයකින් මරණයට පත් වීමේ සිද්ධියක් පසුගිය දා ශ්‍රී ලංකාවෙන් ද වාර්තා විය.