තවත් බෝට්ටු අනතුරකින් තිහකට අධික පිරිසක් මුහුදේ

මැලේසියාවේ වෙරළාරක්ෂක නිලධාරීන් මුහුදුබත් බෝට්ටුවක ගමන් ගනිමින් සිටි තිස් දෙනකුට අධික ඉන්දුනීසියානු ජාතිකයන් පිරිසක් සෙවීමෙහි නිරත වෙමින් ඇති බව වාර්තා වෙයි.

බෝට්ටුව මුහුදුබත් වී තිබෙන්නේ මැලේසියාවේ ජොහෝර් බාරු ප්‍රාන්තය අසල සයුරු තීරයේ දී.

අනතුරට මුහුණ පා සිටින්නේ මැලේසියාවට පැමිණ අනවසරයෙන් වැඩ කරමින් සිටි ඉන්දුනීසියානු ජාතිකයන් පිරිසක් යයි සැලකෙන බවත් වාර්තා වෙයි.

රාමදාන් උපවාස කාලය නිමාවත් සමඟ සිය ගම් බිම් කරා ගොස් එය උත්සව ශ්‍රීයෙන් සැමරීම සඳහා එම කණ්ඩායම කුඩා බෝට්ටුවක නැගී මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්දුනීසියාවට යාමට උත්සාහ කරමින් සිටි බවයි පැවසෙන්නේ.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ බෝට්ටුව පෙරළී ඇති අතර, එහි සිටි අයගෙන් අට දෙනෙක් මේ වන විට බේරා ගනු ලැබ ඇති බව නිවේදනය කොට ඇත.

මැලේසියානු මුහුදු තීරයේ දී සති දෙකක් ඇතුළත වාර්තා වූ දෙවන අනතුරයි මේ.