ගිණි කඳු පිපිරීමෙන් ඉන්දුනීසියාවේ හය දෙනෙක් මියයති

මධ්‍යම ඉන්දුනීසියාවේ පලුආ දුපතේ ගිනි කන්දක් පුපුරා යාමෙන් පුද්ගලයන් හය දෙනෙක් මිය ගොස් ඇත.

රොක්ටෙන්දා ගිනිකන්ද නිකුත් කළ උණු අළු වලට හසු වීමෙන් මිය ගිය මෙම පිරිස අතර වෙරළේ සිටි වැඩිහිටියන් තුන් දෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

යමහල අවට අවදානම් කලාපයේ මෙම පුද්ගලයන් රැදී සිටියේ ඇයිද යන්න පිළිබඳ තොරතුරු ලැබී නැතැයි ගිනිකඳු පිළිබඳ ඉන්දුනීසියානු ආයතනයේ ප්‍රධානියා පවසයි.

රොකටෙන්දා ගිනිකන්දෙන් නිකුත් වූ දුමාරය කිලෝ මීටර දෙකක් පමණ උසට විහිද ගොස් තිබේ.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී යමහල අවට අවදානම් කලාපයක් ප්‍රකාශ කිරීමට කටයුතු කළ ඉන්දුනීසියානු බලධාරීහු ගිනිකන්දේ මුව පිහිටි ආගාදයේ සිට කිලෝ මීටර තුනක කලාපයට ජනතාව ඇතුළු වීම තහනම් කර තිබුණි.

තුන්දහසක් පමණ ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කිරීමටද ඔවුහු පියවර ගත්හ.