ඊජිප්තුව පුරා තවත් ගැටුම්

Image caption මුස්ලිම් සහෝදරත්වයේ ආධාරකරුවන් අවි දරන බවයි ඊජිප්තු රූපවාහිනිය වාර්තා කරන්නේ.

ඊජිප්තුව පුරා අද සිදු වූ ගැටුම්වලින් අඩු තරමින් තිස් අටදෙනකුවත් මරා දැමුණ බවයි, කයිරෝ නගරයෙන් ලැබෙන අලුත් ම වාර්තා මගින් පැවසෙන්නේ.

මුස්ලිම් සහෝදරත්වය අද ඔවුන්ගේ කෝපය පළ කිරීමේ දිනයක් ප්‍රකාශයට පත් කොට තිබුණ අතර,එම විරෝධතාවාදීන්ට ඊජිප්තු හමුදාව වෙඩි තබන ලද බවයි, එම වාර්තාවන්හි දැක්වෙන්නේ.

මුස්ලිම් සහෝදරත්වයේ විරෝධතාවය දියත් කෙරුණ ‘රම්සෙස්’ චතුරශ්‍රයට එල්ල කෙරුණ ප්‍රහාරයේ දී අඩු තරමින් දොළොස් දෙනකුවත් මරණයට පත්ව ඇති බවයි, මැදපෙරදිග තොරතුරු භාර බීබීසී වාර්තාකරුවෙක් ප්‍රකාශ කළේ.

එම ප්‍රහාරයේදී තවත් විශාල සංඛ්‍යාවකට තුවාල සිදුව ඇත.

හමුදා වෙඩි තැබීම සිදුව ඇත්තේ මුස්ලිම් සහෝදරත්වයේ විරෝධතාවාදීන් අසල පිහිටි පොලිසියකට පහර දීමෙන් පසුව බවත් ප්‍රකාශ වෙයි.

මුස්ලිම් සහෝදරත්වයේ ආධාරකරුවන් අවි ආයුධ රැගෙන සිටින ආකාරය දැක්වෙන රූප රාමු ඊජිප්තු රුපවාහිනිය ඔස්සේ ප්‍රදර්ශනය කෙරිණ.

මේ අතර ප්‍රකාශයක් කරන ජෝර්දානයේ අබ්දුල්ල රජතුමා ඊජිප්තු යුද හමුදා පාලනයට සහයෝගය පළ කොට ඇත.

පලස්තීනයේ හමාස් ආධාරකරුවන්,තුර්කියේ සහ ඉන්දුනීසියාවේ කණ්ඩායම් ඊජිප්තු යුද හමුදා පාලනය හෙළා දකිමින් විරෝධතා ව්‍යාපාරවල නිරත වෙමින් සිටි බවත් වාර්තා වෙයි.