ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බිහාර් අනතුරින් කුපිතවූවෝ දුම්රියට ගිනි තබති

බිහාර් ප්‍රාන්තයේ දුම්රිය අනතුරින් මරණයට පත් සංඛ්‍යාව යටත් පිරිසෙයින් විසි හත් දෙනකු වත් වන බව ඉන්දීය දුම්රිය නිලධාරීහු පවසති .

වන්දනා නඩයක් දුම්රිය මාර්ගය හරහා ඒ අසල පිහිටි පුද බිමකට යමින් සිටිය දී ඔවුන් මතින් දුම්රියක් ධාවන වීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ.

ඇතැම් සිරුරු කැපී කැබලි වී ඇති හෙයින් අනතුරින් මරණයට පත් සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කිරීම මුල දී දුෂ්කර වූ බවද ඉන්දීය දුම්රිය නිලධාරීහු සඳහන් කළහ.

අනතුර සැලවීමත් සමඟ කෝපයට පත් කණ්ඩායමක්, දුම්රිය මැදිරිවලට ගිනි තබා ‘ධමර ඝාට්’ (Dhamara Ghat) දුම්රිය නැවතුම් පොළ කොල්ල කන ලද බවක් ද වාර්තා වෙයි.

බිහාරයේ ‘පැට්නා’ ප්‍රාන්ත අගනුවරින් කිලෝමීටර් එකසිය අසූවක් ඈතින් පිහිටි ‘ධමර ඝාට්’ නම් කුඩා නගරයේයි, ඉහත කී අනතුර සිදුව තිබෙන්නේ.

දුම්රිය අනතුරු සහ මිනිසුන් අනවසරයෙන් දුම්රිය මාර්ගය හරහා ගමන් ගැනීම නිසා වසරකට දහස් ගණනක් ජීවිත විනාශ වෙන බවයි, ඉන්දීය වාර්තාවන්හි දැක්වෙන්නේ.