සිවිල් පරීක්ෂණ සඳහා හමුදාවට බලයක් නෑ - ඩලස්

  • 19 අගෝස්තු 2013

පරීක්ෂණයක් සඳහා මහජනතාවගෙන් ප්‍රශ්න කිරීමට යුද හමුදාවට අයිතියක් නැතැයි ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් ප්‍රකාශ කරති.

වැලිවේරියේදී තුන් දෙනකුට මරු කැඳවමින් මේ මස මුලදී සිදුවූ හමුදා ප්‍රහාරය පිළිබඳව කට උත්තර ලබා ගැනීම සඳහා යුද හමුදාව විසින් ප්‍රදේශවාසීන් කැඳවන බව ජනතා විමුක්ති පෙරමුණේ චෝදනාවයි.

සඳුදා කොළඹදී මාධ්‍ය වේදීන් හමුවේ ලියවිල්ලක් පෙන්වමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළේ, ‘යුද්ධ හමුදා මුලික පරීක්ෂණ උසාවිය,’ යනුවෙන් සඳහන් සිතාසියක් පළාත් වාසීන්ට එවා ඇති බවයි.

කෙසේ වෙතත්, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටින්නේ යුද හමුදාව විසින් පවත්වනු ලබන්නේ අභ්‍යන්තර පරීක්ෂණයක් පමණක් බවයි.

සිවිල් සමාජය තුල පරීක්ෂණයක් පැවැත්වීමට, ‘හමුදාවට එහෙම අයිතියකුත් නැහැ. යුතුත් නැහැ,’ යි පිළිගත් අමාත්‍ය වරයා මාධ්‍ය වේදීන් කළ විමසීමකදී විපක්ෂයේ ප්‍රකාශ හැඳින්වුයේ නොදැනුවත් කමින් කරන ඒවා ලෙසයි.

ජවිපෙ අභියෝගය

මේ අතර පිරිසිදු වතුර ඉල්ලා වැලිවේරියේ උද්ඝෝෂණයේ යෙදුනු බවට රජය විසින් චෝදනා කැරුණු ‘තුන්වන පාර්ශවය’ ට වෙඩි තැබීමට අණ දුන්නේ කවුදැයි හෙළි කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ අභියෝග කරයි.

“තමන් අණ දුන්නේ තුන්වැනි පාර්ශවයක් මෙවැනි ප්‍රකෝපකාරී සිදුවීම් කරන නිසා කියලා, බය නැතුව රටට කියන්න,” විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය.