දූෂණයට ලක් වූ දැරියට කස පහර දීම වැරදියි

  • 22 අගෝස්තු 2013

ලිංගික දූෂණයට ලක් වූ පහළොස් හැවිරිදි දැරියකට ප්‍රසිද්ධියේ කස පහර දීමේ දඬුවමක් මාල දිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කොට තිබේ.

අධිකරණය ප්‍රකාශ කළේ විවාහයෙන් තොර ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාවට දැරිය වැරදිකාරිය කිරීම වැරදි බවයි.

දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා නගා නඩු පවරා තිබුණේ ඇයගේ සුළු පියාට එරෙහිවයි.

එහි දී වැරදිකාරිය කෙරුණ දැරියට දහඅට වැනි විය පිරුණු පසු කස පහර සියයක් දීමටයි, කලින් තීන්දු කොට තිබුණේ.

ජාත්‍යන්තර විරෝධතා

කෙසේ වෙතත් ජාත්‍යන්තර වශයෙන් විරෝධතා මතු වීමෙන් අනතුරුව රජය විසින් දැරිය වෙනුවෙන් කළ අභියාචනයකින් එම නියෝගය අවලංගු කැරුණි.

කසාදයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වූ කාන්තාවන්ට කස පහර දීමේ ව්‍යවහාරය නවතා දමන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මාල දිවයින් රජයෙන් ඉල්ලා ඇති වාර ගණන බොහෝයි.