සිරියානු ප්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර විරෝධය

සිය ගණනකට මරු කැඳවමින් දමස්කස් නගරය අසළ එල්ල කෙරුණ රසායනික අවි ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සාක්ෂි ලැබෙමින් පවතී.

බදාදා එල්ලේ කැරුණු එම ප්‍රහාරය පිළිබඳව කැරලිකරුවන් චෝදනා නගන්නේ සිරියානු ආණ්ඩුවටයි.

දිවි බේරුන තැනැත්තෙක් පැවසුවේ කහ සහ නිල් පැහැයට හැරුණු මළසිරුරු ඉවත් කිරීමට තමන් සහාය දුන් අතර වාතය ගෑස් ගඳින් පිරී තිබුණු බවයි.

විරුද්ධ පක්ෂයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ තවත් මළ සිරුරු සොයා ගනිමින් ඇති බවයි.

“පාන්දර දෙක වෙන කොට තුවාල කරුවන් 1360ක තොරතුරු ලේඛන ගත කරලා තියෙනවා. අපි හිතනවා මේ ගණන තවත් ඉහළ යාවි කියලා, මොකද zසෙමෙල්කා අසල ප්‍රදේශයේ අපට මළ මිනී පිරී තිබුණු ගෙයක් හමු වුනා” යයි ඔහු කියා සිටියේය.

ප්‍රහාරය ජාත්‍යන්තර වශයෙන් දැඩි හෙලා දැකීමට ලක් වී තිබේ. සියලු රතු ඉරි ඉක්මවා ගොස් ඇති බව තුර්කිය පවසද්දී, ප්‍රංශ විදේශ අමාත්‍ය වරයා ප්‍රකාශ කළේ සිරියානු රජය වග කිව යුතු බවට ඉදිරිපත් වෙමින් ඇති චෝදනා සනාථ වුව හොත් ජාත්‍යන්තර ප්‍රජාව බලය යොදා ප්‍රතිචාර දැක්විය යුතු බවයි.

කිසිදු විකල්පයක් අත් හැර නැති බව බ්‍රිතාන්‍ය රජය කියද්දී, ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයට යාමේ අවසරය ලබා ගැනීමට එක්සත් ජාතීන්ගේ ආයුධ පරීක්ෂකයෝ රාජ්‍ය තාන්ත්‍රික වීරිය දරමින් සිටිති.

චෝදනා ප්‍රතික්ෂේප කරන සිරියානු රජයේ ප්‍රධාන සගයා වන රුසියාව පවසන්නේ, ප්‍රහාරය කැරලිකරුවන් විසින් සිදු කරන ලද ප්‍රකෝපකාරී ක්‍රියාවක් බවයි .