ඉන්දීය මුජාහිදීන් නායකයකු අත් අඩංගුවේ

මෑතදී සිදු කරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවකට චෝදනා ලබන ඉන්දීය සන්නද්ධ කණ්ඩායමක ප්‍රධානියා අත් අඩංගුවට ගන්නා ලදැයි එරට ස්වදේශ කටයුතු අමාත්‍ය වරයා ප්‍රකාශ කරයි.

සුශිල්කුමාර් ශින්ඩේ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්දීය නේපාල දේශ සීමාවේදී බදාදා රාත්‍රියේ අත් අඩංගුවට ගන්නා ලද යාසින් භට්කාල් බිහාර ප්‍රාන්තයේ රඳවා තබා සිටින බවයි.

විශාල පිරිසකට මරු කැඳවමින් තවත් සිය ගණනකට හානි පමුණුවමින් පුනා, බැංගලෝර් හා හයිදරාබාද් නගර වල බෝම්බ මාලාවක් පුපුරුවා ලූ ඉන්දීය මුජාහිදීන් කණ්ඩායමේ නායකයකු ලෙසයි, යාසීන් භට්කාල් සැලකෙන්නේ.

ඔහු ඉන්දියානු රජයට අල්ලා ගැනීමට ඉතා උවමනා කැරුණු අයෙක්.

තවත් සටන් කරුවකු ඔහු සමගින් අත් අඩංගුවට ගන්නා ලද බවත් වාර්තා වෙයි.

මේ මෑතම අත් අඩංගුවට ගැනීම සිදුවුයේ ලෂ්කර් එ තොයිබා සන්නද්ධ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු සේ ගැනෙන අබ්දුල් කරීම් තුන්දා මේ මස මුලදී අල්ලා ගැනීමෙන් අනතුරුවයි.