‘යොවුන්දූෂකයාට එරෙහි දඬුවම ප්‍රමාණවත් නැහැ’ - ඉන්දියානු ශිෂ්‍යාවගේ සහෝදරයෙක්

Image caption ශිෂ්‍යාව දූෂණය කළ කල්ලියේ සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවක්.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ දිල්ලි අගනුවර දී ශිෂ්‍යාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන කල්ලියේ බාල වයස්කාර චූදිතයාට අධිකරණයෙන් නියම කෙරුණ දඬුවම සම්බන්ධයෙන් එම ශිෂ්‍යාවගේ පවුලේ සාමාජිකයන් සෑහීමකට පත් නොවන බවයි වාර්තා වන්නේ.

ශිෂ්‍යාව දූෂණය කෙරුණ දිනවල වයස අවුරුදු දාහතක් වූ යොවුන් තරුණයා පුනරුත්ථාපනය කිරීමේ අරමුණින් අධිකරණය ඔහුට නියම කර තිබෙන්නේ, අවුරුදු තුනක සිර දඬුවමක් පමණයි.

බාලවයස්කාර අපරාධකරුවකු හැටියට ඉන්දියානු නීතිය අනුව එවැන්නකුට දිය හැකි උපරිම දඬුවම එයයි.

දූෂණයට ගොදුරු වූ ශිෂ්‍යාවගේ සහෝදරයා ප්‍රකාශයක් කරමින්, අවුරුදු තුනක දඬුවම ඉතා ළිහිල් එකක් වන අතර , නඩු තීන්දුවට එරෙහිව මහාධිකරණයක් ඉදිරියේ අභියාචනය කරන බව කියා සිටි බවයි වාර්තා වන්නේ.

ඉහත කී සමූහ දූෂණයට හවුල් වී යයි චෝදනා ලබන තවත් සැකකරුවන් හතර දෙනකුට එරෙහිව වෙනත් නඩු විභාගයක් පැවැත්වෙන අතර එහි තීන්දුවත් ඉදිරි සති කීපය ඇතුළත ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු පළ වෙමින් පවතී.