නවී පිල්ලේ සංචාරය ලෝක ජනමාධ්‍යවල අවධානයට

  • 2013 සැප්තැම්බර් 1
Navi Pillai in Sri Lanka
Image caption සිය ඉන්දීය දෙමළ සම්භවය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ඇමතිවරුන් කළ ප්‍රකාශ පිල්ලේගේ කෝපයට හේතුවිය

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ ගේ සත්-දින ශ්‍රී ලංකා සංචාරය සහ සංචාරය හමාරයේ ඇය නිකුත් කළ නිවේදනය ලොව පුරා ජනමාධ්‍යවල අවධානයට ලක් වී තිබේ.

යුද ගැටුම් හමාර වී වසර හතරක් ඉක්ම ගොස් තිබුනත්, ශ්‍රී ලංකාව අධිකාරිවාදී පාලනයක් කරා ගමන් කරමින් සිටින බැවින් රටේ ජනතාව තවමත් පීඩා විඳින බවට ඇය කළ නිරීක්ෂණයයි, බොහෝ මාධ්‍යවල සිරස්තලය වී තිබුනේ.

ගැටුම් පැවති කලාපයේ කෙරෙමින් තිබෙන සංවර්ධන කටයුතු පිළිබඳව ප්‍රසාදය පළ කළ මහ කොමසාරිස්වරිය, කෙසේ නමුත් අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය වැනි සාමාන්‍ය ජන ජීවිතයේ අංශයන්ට හමුදාව අත පොවමින් සිටීම පිළිබඳව සිය අවධානය පළ කළ බව හෙරල්ඩ් ස්කොට්ලන්ඩ් පුවත්පත වාර්තා කරයි.

ද හින්දු, ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් සියල්ලම මහ කොමසාරිස්වරියගේ නිරීක්ෂණවලට ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබිණ.

මේ අතර තමන් හමුවී කරුණු දැක්වූ පුද්ගලයන්ට හමුදාව තර්ජනය කළ බවට නවී පිල්ලේ නගන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සූදානම් යයි කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කළ ප්‍රකාශයට දි එකොනොමික් ටයිම්ස් පුවත්පතේ ප්‍රමුඛස්ථානයක් හිමි වී තිබිණ.

Image caption තමන් හමුවී කරුණු දැක්වූ පුද්ගලයන්ට හමුදාව තර්ජනය කිරීම ගැන නවී පිල්ලේගේ අවධානය

කෙසේ නමුත් එම චෝදනා පිළිබඳව මහ කොමසාරිස්වරියගේ කාර්යාලය අදාළ සාක්ෂි ඉදිරිපත් කළ යුතු යයි ඇමතිවරයා සඳහන කළ බවද පුවත්පත පවසයි.

චීනයට බරපතල අන්දමින් ණය වී සිටින ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවට එරෙහිව පියවර ගැනීමට තරම් තවදුරටත් බලවත් රටක් නොවන බවට විද්‍යා සහ පර්යේෂණ පිළිබඳ අමාත්‍ය චම්පික රණවක කළ ප්‍රකාශය ද එම වාර්තාවට ඇතුලත්.

උතුරු නැගෙනහිර පලාත්වලින් හමුදාව ඉවත් කොට, එම පලාත්වල හැකි ඉක්මනින් සිවිල් පරිපාලනය පිහිටුවන ලෙස මහ කොමසාරිස්වරිය ආණ්ඩුවෙන් කළ ඉල්ලීමට බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවේ ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබිණ.

මේ අතර ලංකානිවුස්වෙබ් වෙබ් අඩවියේ පලව තිබූ වාර්තාවකට අනුව, මහින්ද රාජපක්ෂ පරිපාලනය විවේචනය කොට තිබෙන නමුත් සමස්තයක් වශයෙන් දෙමළ ජනතාවගේ අනන්‍යතාවය විනාශ කිරීම් වස් ශ්‍රී ලංකා රාජ්‍යය ගෙන යන ව්‍යාපාරය නිරීක්ෂණය කිරීමට අපොහොසත්වීම පිළිබඳව ඕස්ට්‍රේලියාවේ දෙමළ කොන්ග්‍රසය මහ කොමසාරිස්වරිය විවේචනයට ලක් කොට තිබේ.

සිය ඉන්දීය දෙමළ සම්භවය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු ඇයට අපහාස කිරීම පිළිබඳව නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය කෝපය පළ කළ බව කැනඩා ගුවන් විදුලි සේවය වාර්තා කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර