සිරියාවට පහර දීමට සෞදියේ සහාය

  • 2013 සැප්තැම්බර් 1
Image caption සිරියානු අර්බුදය පිළිබඳ තම ස්ථාවරය තීරණය කිරීමට අරාබි ලීගයේ විදේශ ඇමතිවරු කයිරෝ නුවරට රැස් විය

සිරියාවට එරෙහිව කෙරෙන හමුදා මැදිහත් වීමකට තම රට සහාය දෙන බව සෞදි අරාබියේ විදේශ ඇමතිවරයා ප්‍රකාශ කළේය.

සෞදි විදේශ ඇමති සෞඩ් අල් ෆයිසාල් මේ බව කියා සිටියේ සිරියානු අර්බුදය පිළිබඳ තම ස්ථාවරය තීරණය කිරීමට අරාබි ලීගයේ විදේශ ඇමතිවරු කයිරෝ නුවරට රැස් වෙද්දී යි.

විෂ අවි ප්‍රහාරය සම්බන්ධයෙන් සිරියානු රජය වගකිව යුතු බවට අරාබි ලීගය චෝදනා කළත් මේ වන තෙක් හමුදා මැදිහත් වීමකට ප්‍රසිද්ධියේ සහාය පළ කර නැත.

කෙටි කාලයක් ඇතුළත අර්බුද පිළිබඳ තීරණයක් ගත යුතු බවයි අරාබි ලීගයේ මහ ලේකම් නබිල් අල් ඇරබි රැස්වීම අමතා කියා සිටියේ.

ඔබාමා

මේ අතරතුර සිරියානු ජනාධිපති අසාද්ට එරෙහිව හමුදාව යෙදවීමේ යෝජනාව එක්සත් ජනපද කොන්ග්‍රසය පිළිගෙන ඇතත් එය මදකට පමා කිරීමට ජනාධිපති ඔබාමා පියවර ගත්තේය.

එයට ප්‍රතිචාර දක්වමින් සිරියාවේ නියෝජ්‍ය විදේශ ඇමති ෆයිසාල් මක්දාඩ් කියා සිටියේ ඔබාමා දෙගිඩියාවෙන් පෙලෙන ව්‍යාකුල අයෙකු බවයි.

එක්සත් ජනපදය ගන්නා ඕනෑම තීරණයකට සහයෝගය දීමට තමා සුදානම් බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද නිවේදනය කර තිබුණි.