සිරියානු යුද යෝජනාව ප්‍රංශ පාර්ලිමේන්තුවට

  • 2013 සැප්තැම්බර් 2
Image caption ප්‍රංශ අගමැති ෂෝන් මාර්ක් එරෝ.

ප්‍රංශ අගමැති ෂෝන් මාර්ක් එරෝ, සිරියානු ආණ්ඩුව රසායනික අවි පාවිච්චි කර ඇති බවට එල්ල වෙමින් ඇති චෝදනා සම්බන්ධයෙන් එරට බුද්ධි අංශයේ වාර්තාවක් සිය පාර්ලිමේන්තු නායකයන් වෙත ඉදිරිපත් කළ බව වාර්තා වෙයි.

ප්‍රකාශිත තොරතුරු අනුව ඩමස්කස් පාලනය රසායනික අවි පාවිච්චි කර ඇති බවට ප්‍රංශ බුද්ධි අංශ වාර්තාව චෝදනා කරයි.

‘සරින්’ විෂ රසායනය සහ අබ ගෑස් ඇතුළුව ටොන් දාහකට අධික විෂ වර්ග සිරියානු ආණ්ඩුව විසින් ගබඩා කර ගෙන ඇති ඉහත කී බුද්ධි අංශ වාර්තාව මගින් පැවසෙන බවයි,ප්‍රංශ ආණ්ඩුවේ ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ.

සිරියාවට එරෙහිව යුද මය පියවරක් ගත යුතුය යන මතයේයි,ප්‍රංශ ජනාධිපති ෆ්රාන්ශුවා ඕලොන්ඩ් රැඳී සිටින්නේ.

එහෙත් ප්‍රශ්නය පාර්ලිමේන්තු ඡන්දයකට ඉදිරිපත් කළ යුතුව ඇති බවට ප්‍රංශය තුළ මතවාදයක් වැඩෙමින් ඇති බවක් ද වාර්තා වෙයි.

බීබීසී මත විමසුම.

මේ අතර,බීබීසිය මගින් සංවිධානය කෙරුණ මහජන මත විමසුමකින් පෙන්නුම් කෙරෙන්නේ,බ්‍රිතාන්‍ය සමාජයේ බහුතරය සිරියාවට එරෙහි යුද ක්‍රියාමාර්ගයක් ගනු ලැබීමට එරෙහි බවයි.

සිරියාවට එරෙහි යුද යෝජනාව පාර්ලිමේන්තුව විසින් පරාජයට පත් කරනු ලැබීම නිවැරදි බව බීබීසී මහජන මත විමසුමට සහභාගී වූ 71% ක අදහසයි.

එසේම සිරියානු යුද යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කරනු ලැබීම නිසා බ්‍රිතාන්‍ය -ඇමෙරිකානු සබඳතාවන්ට හානියක් නොවන බව එම මත විමසුමට එක්වූ 71% ක් ප්‍රකාශ කොට ඇත.