කරච්චි නගරයේ කල්ලි මැඩලීම සඳහා සංචාරක හමුදා භට පිරිස්

  • 2013 සැප්තැම්බර් 4

කරච්චි නගරයේ දී පැවැත්වුන විශේෂ කැබිනට් සාකච්ඡාවක දී අදහස් දැක්‌ වූ පාකිස්තාන් අගමැති නවාෂ් ෂරීෆ්, නගරයේ ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීම සඳහා සංචාරක හමුදා භටයන් සහ අතිරේක හමුදාවක් යොදා ගැනීම ගැන සලකා බලමින් සිටින බව අවධාරනය කොට ඇත.

නගරයෙන් වාර්තා වෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් චෝදනා එල්ලා වී තිබෙන්නේ, එහි බලවත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් සහ සාපරාධී කල්ලිවලටයි.

එම අපරාධ මැඩලීමට ගනු ලබන උත්සාහයේදී නගරයේ යුද හමුදාව රඳවා තබනු ලැබීමට අගමැති ෂරීෆ්ගේ අනුමැතිය නොලැබුන බවයි වාර්තාවන්නේ.

දහස් ගණනක ජීවිත විනාශයක්

පාකිස්තාන් අභ්‍යන්තර කටයුතු භාර ඇමතිවරයා ප්‍රකාශයක් කරමින් අදාළ මෙහෙයුම් සැලසුම් කර ඇති පරිදි ආරම්භ කෙරෙන බවයි කියාසිටියේ.

පාකිස්තානයේ වාණිජ අග නගරය වන කරච්චිය රටේ ජාතික ආදායමින් අති බහුතරය උපයන නගරයයි.

එහෙත් කරච්චි නගරයේ එල්ල කෙරුන ප්‍රචණ්ඩ පහරදීම් වලදී මෑත වසරවල දහස් ගණනක ජීවිත විනාශයක් වාර්තා කෙරිණ.