මාල දිවයින් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

  • 2013 සැප්තැම්බර් 7
maldives election

මාල දිවයින් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම දැන් ආරම්භ වී තිබේ.

මැතිවරණ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රී හෝ හෙට උදෑසන ප්‍රකාශයට පත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය අත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව මාලදිවයින් හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් (Mohamed Nasheed) බොහෝ දුරට විශ්වාසය පළ කරයි.ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ වත්මන් ජනාධිපති මොහමඩ් වහීඩ් හසන් මනික් (Mohamed Waheed Hassan Manik).

දශක ගණනාවක ඒකාධිපති පාලනයකින් පසුව 2008 වසරේ දී , එරට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත්වූ පළමු ජනාධිපතිවරයායි.

ජ්‍යෙෂ්ට විනිසුරුවරයකු අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කෙරිණ.

එම සිද්ධිය ඔහු හඳුන්වා දුන්නේ කුමන්ත්‍රණයක් ලෙසටයි.

එවිට උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති මොහමඩ් වහීඩ් හසන් මනික් විසින් වෙනත් විනිසුරුවරයකු එම තනතුරට පත් කළ අතර කුමන්ත්‍රණ චෝදනා ප්‍රතික්ෂේප කෙරිණ.

තවත් අපේක්ෂකයන් දෙදෙනකු ජනාධිපති ධුරයට තරඟ කරන අතර ජන්දවලින් සියයට පනහක් ලබා ගැනීමට කිසිවකු හෝ අපොහොසත් වුවහොත් දෙවන වටයටත් ජන්ද විමසීමක් සිදු කිරීමට නියමිතයි

තීරණාත්මක මැතිවරණයක්

Image caption මොහමඩ් නෂීඩ්

හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයූම්ගේ සොහොයුරෙකු වන ව්‍යාපාරික යාමින් අබ්දුල් කයුම් පැවසුවේ මෙය ඉතාමත්ම තීරණාත්මක මැතිවරණයක් බවයි.

පසුගිය වසර හතර පහ කාලය තුල සියල්ල සිදුවී ඇත්තේ වැරදි ආකාරයකට යැයි පැවසූ ඔහු යහපත් අනාගතයක් සඳහා වෙනසක් කිරීම අනිවාර්ය බව කියා සිටියේය.

මැතිවරණය සාමකාමීව හා නිදහස්ව පවතීන බවයි මාල දිවයින්හි හවිරු පුවත් පතේ උප කතෘ මොහමඩ් නිෂාම් සංදේශයට පැවසුවේ.