දුවේ නුඹ මට ආශීර්වාදයක්

  • 2013 සැප්තැම්බර් 20
Image caption පකිස්තාන් ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සහතික කිරීම වෙනුවෙන් නිෂ්පාදනය කෙරුණ කාටුන් චිත්‍රපටයක රූප රාමුවක්.

ගැහැණු දරුවන්ට සැලකිය යුතු ආකාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් දේශනා පවත්වන මෙන්, පාකිස්තානය පුරා මුස්ලිම් පල්ලිවල ඉමාම් වරුන් වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත.

එම ඉල්ලීම කරනු ලැබ තිබෙන්නේ පාකිස්තානයේ ඉමාම්වරුන්ගේ මණ්ඩලය මගින්.

ඒ සඳහා විශේෂ දිනයක් ද ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර, එහි තේමාව “මගේ දුව ශාපයක් නොව ආශීර්වාදයක්” යන්න.

පුතකු නොලද නිසා කෝපයට පත් තැනැත්තකු විසින් මාස දහ අටක් වූ සිය දියණිය දියෙහි ගිල්වා මරා දමනු ලැබීම පසුගියදා පාකිස්තාන් සමාජයේ විශාල කම්පාවක් ඇති වීමට හේතු වූ අතර ඒ සමඟ එවැනි තවත් සිද්ධීන් රැසක්ම හෙළිදරව් වුණි.

පාකිස්තානයේ ප්‍රකට නවකතා කතුවරියක් වන බින්හා ෂා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ,ආගම පාකිස්තාන් සමාජය තුළ විශාල බලපෑමක් සිදු කරන හෙයින් ආගමික නායකයන්ට මේ ප්‍රශ්නයේදී පුළුල් මග පෙන්වීමක් කළ හැකි බවයි.

ගැහැණු දරුවන් මරා දැමීම වැනි අපරාධ සිදු කරන්නන්ට එරෙහිව පාකිස්තානයේ දැඩි දඬුවම් පැමිණවීමක් සිදු වන්නේ නැති බවයි,ඉස්ලාමාබාද් නගරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.