ඕස්ට්‍රේලියානු අගමැති ඉන්දුනීසියාවේ

මේ මාසය ආරම්භයේ දී ඕස්ට්‍රේලියාවේ අගමැති පදවියට පත් ටෝනි ඇබට් සිය පළමු විදේශ නිල සංචාරය ආරම්භ කරමින් ඉන්දුනීසියාවට ලඟා වී සිටියි.

සරණාගතයන් සම්බන්ධයෙන් ඔහු අනුගමනය කරන පිළිවෙත මුල් කර ගෙන දෙරට අතර දැඩි මතභේද පවතින මෙහොතකයි, සංචාරය ආරම්භ කෙරුණේ.

ඉන්දුනීසියාවත් සමඟ පුළුල් ආර්ථික සම්බන්ධතා ගොඩ නගා ගැනීම ඕස්ට්‍රේලියානු නව අගමැතිවරයාගේ උවමනාවයි.

බෝට්ටුවලින් ඔස්ට්‍රේලියාවට එමින් සිටින සරණාගතයන් ආපසු ඉන්දුනීසියානු මුහුදු තීරයට හරවා යවනු ලැබීමේ ටෝනි ඇබට් පිළිවෙත ජකර්තා පාලනයේ කෝපයට හේතු වී ඇති අතර, එය තම පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් වන බවයි ඔවුන් කියා සිටින්නේ.

මිනිසුන් පැටවීමේ ජාවාරම

ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සමඟ සාකච්ඡා වලින් පසු ප්‍රකාශයක් කළ ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බැම් බැන්ග් යුධයනෝ, බෝට්ටු මගින් එන සරණාගතයන් සහ මිනිසුන් රටින් රටට පටවන ජාවාරම ගැන තමන් අවධානය යොමුකළ බවයි කියා සිටියේ.

අගමැති ටෝනි ඇබට් අදහස් දක්වමින්,ඔස්ට්‍රේලියාව ඉන්දුනීසියාවේ පරමාධිපත්‍යයට සහ ඒකාග්‍රතවයට ගරු කරන බවයි සඳහන් කළේ.

ඔරොත්තු නො දෙන තරම් සංඛ්‍යාවක් සරණාගතයන් රැගෙන ඕස්ට්‍රේලියාව කරා යාත්‍රා කරමින් තිබුණ බෝට්ටු කීපයක් ම පසුගිය මාස කීපය ඇතුළත මුහුදුබත් වීමෙන් ජීවිත රැසක් විනාශ වූ බව වාර්තා විය.

පසුගිය සතියේත් සරණාගතයන් පිරුණ බෝට්ටුවක් ඉන්දුනීසියානු මුහුදු තීරයේ දී මුහුදුබත් වීමෙන් තිස්එක් දෙනකු දියේ ගිලී මරණයට පත් වූ අතර,

තමන් බේරා ගැනීමට නො පැමිණි බවට දිවි බේරුණ සරණාගතයන් ඕස්ට්‍රේලියාවට චෝදනා කරන නමුත්, ඔස්ට්‍රේලියාව කියා සිටින්නේ ඔවුන්ට ආධාර වීමෙහි ලා සුදුසු සියලු පියවර ගත් බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර