යුද හමුදාව තිනකුරල් චෝදනා බැහැර කරයි

යාපනයේ පළ කෙරෙන තිනකුරල් පුවත්පතේ මාධ්‍යවේදීන් දෙදෙනකුට මරණීය තර්ජන එල්ල වී ඇති හෙයින්, ඔවුන්ට ආරක්ෂාව සලසන මෙන් එම පුවත්පතේ පාලන අධිකාරිය ශ්‍රී ලංකා පොලිසියෙන් සහ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

මාධ්‍යවේදීන් දෙදෙනාගේ නිවෙස්වලට ගිය යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් යයි සැක කෙරෙන කණ්ඩායමක් ඔවුන්ට තර්ජනය කර ඇති බවයි, තිනකුරල් කර්තෘ වී.අර්පුදනාදන් පවසන්නේ.

අනතුරුව පුවත්පත් කාර්යාලයට පැමිණි බුද්ධි අංශ නිලධාරීන් අදාළ මාධ්‍යවේදීන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසූ බවත් තිනකුරල් කතුවරයා පවසයි.

එබැවින් ඉහත කී මරණ තර්ජන එල්ල කොට තිබෙන්නේ යුද හමුදාවෙන් බව සනාථ කෙරෙන බවයි,තිනකුරල් කතු වී.අර්පුදනාදන්ගේ අදහස වන්නේ.

ඉහත කී ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් තමා විරෝධය පළ කළ හෙයින් දැන් පුවත්පතේ සමස්ත කාර්ය මණ්ඩලයටම හමුදා බුද්ධි අංශයෙන් තර්ජන එල්ල වෙන තත්වයක් උද්ගත වී ඇතැයි ද ඔහු කියා සිටියි.

හමුදාවේ ප්‍රතිචාරය

සිය මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කරනු ලැබීමට තුඩු දුන් හේතු පැහැදිලි කරන ලෙස සහ භීතියට පත් ව සිටින තිනකුරල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කරන ලෙස පුවත්පතේ පාලන අධිකාරිය ශ්‍රී ලංකා පොලිසියෙන් සහ මානව හිමිකම් කොමිසමේ යාපනයේ කාර්යාලයෙන් ඉල්ලීමක් සිදු කළ බවත් වී.අර්පුදනාදන් බීබීසියට ප්‍රකාශ කළේය.

ඉහත කී මරණීය තර්ජනය කිරීම් සහ ප්‍රශ්න කිරීම් වලට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් මැදිහත්ව ඇති බවට තිනකුරල් පාලන අධිකාරිය කරන ප්‍රකාශන පිළිබඳව සංදේශය කළ විමසීමක දී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිග සූරිය එකී සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරමින්, එවැනි පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කෙරුනොත් ඊට සහයෝගය දෙන බවයි කියා සිටියේ.