එජාපයට භික්ෂු පෙරමුණෙන් තල්ලුවක්

Image caption බෞද්ධ භික්ෂූන් වහන්සේ කොළඹ නගරයේ පෙළපාලියෙන් ගමන් ගන්නා අවස්ථාවක්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මුල් කර ගනිමින් මතු වී ඇති අර්බුදය නිරාකරණය කිරීමට භික්ෂූන් වහන්සේ ඉදිරිපත්ව සිටිති.

ඒ සඳහා එක් පියවරක් වශයෙන් පක්ෂය සඳහා නායකත්ව මණ්ඩලයක් නම් කරමින් එහි සභාපතිත්වයට කරු ජයසුරිය පත්කර ගන්නා මෙන් කරන ලද ඉල්ලීමට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ එකඟතාව පළ කළ බව එක්සත් භික්ෂු පෙරමුණ කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂය දැනට වැටී ඇති තත්වය පිළිබඳව නායක රනිල් වික්‍රමසිංහ සමඟ දීර්ඝ ලෙස සාකච්ජා කළ බවයි,එක්සත් භික්ෂු පෙරමුණේ , අනුරාධපුර ශ්‍රී සාරානන්ද පරිවේනාධිපති පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනායක හිමියෝ බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ.

නායකත්ව මණ්ඩලයක් පත් කිරීමේ යෝජනාව පිළිබඳව පක්ෂ නායකයාත්, කරු ජයසුරිය සහ සජිත් ප්‍රේමදාස යන මන්ත්‍රීවරුන් සමගත් වැඩිදුර සාකච්ඡා කරන බවත් උන්වහන්සේ සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී කියා සිටියහ.

ශක්තිමත් පක්ෂයක්

ඇතිකර ගත් එකඟතාවය අනුව ඔක්තෝබර් හතර වෙනිදා සවස පොල්වත්තේ ධර්මකීර්ත්‍යාරාමයේදී එක්සත් භික්ෂු පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මුණ ගැසෙන බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

තමන්ගේ අරමුණ දේශපාලන පක්ෂ සැදීම නොවන බවත් රට වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීමට සමත් දේශපාලන පක්ෂය ශක්තිමත් කිරීම එකම පරමාර්ථය වන බවත් පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනු නාහිමියෝ සඳහන් කළහ.