ඇමෙරිකාව සම්බන්ධයෙන් විශ්වාසය තැබිය නොහැකියි - අයතුල්ලා කුමෙයිනි

ඉරානය මෑතදී අනුගමනය කළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ප්‍රයත්නයන්ට තම සහයෝගය ලැබෙන නමුත්, ජනාධිපති හසන් රොහානි පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු කළ සංචාරයේදී වාර්තා වූ ඇතැම් දේ සමඟ එකඟ විය නොහැකි බව ආධ්‍යාත්මික නායක අයතුල්ලා කුමෙයිනි ප්‍රකාශ කරයි.

සිය ආධාරකරුවන් අමතමිනුයි කුමෙයිනි, එම අදහස් පළකළේ.

කුමෙයිනිගේ වෙබ් අඩවිය උපුටා දක්වන වාර්තා මගින් පැවසෙන්නේ, ඇමෙරිකාව සම්බන්ධයෙන් ඉරානය අශුභාවාදීව සිටින බවයි.

අයතුල්ලා කුමෙයිනි ඇමෙරිකානු ආණ්ඩුව විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ, විශ්වාසය තැබිය නොහැකි, උඩඟු සහ අසාධාරණ සංවිධානයක් හැටියටයි.

ජනාධිපති හසන් රෝහානි පසුගිය සතියේ ඇමෙරිකානු ජනාධිපති ඔබාමා සමඟ දුරකථන සංවාදයක නිරත වූ අතර, එතුලින් මතුව පැවති ශුභවාදී මතවාදය හීන කිරීමේ ප්‍රයත්නයක් හැටියට කුමෙයිනිගේ අදහස් සැලකිය හැකි බවයි බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ.