ජනරාල් ගියප්ට බුහුමන් දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත ජනකායක්

Image caption ජනරාල් ගියප් වියට්නාම් විමුක්ති අරගලයේදී දෙවැනි වන්නේ නිදහස් සටනේ නායක හෝ චි මින් ට පමණි.

වියට්නාම් නිදහස් සටනේ විරුවකු වන පසුගිය සිකුරාදා අභාවප්‍රාප්ත වූ ජනරාල් වෝ එන්ගුයෙන් ගියප් සෙනෙවියාට බුහුමන් දැක්වීම සඳහා හැනෝයි අගනුවර ඔහුගේ නිවස ඉදිරිපිට දස දහස් සංඛ්‍යාත ජනකායක් පෝලිම් ගැසී සිටින බව වාර්තා වෙයි.

ජනරාල් ගියප් දිවියෙන් සමු ගන්නා විට ඔහුගේ වයස අවුරුදු එකසිය දෙකයි.

වියට්නාමයෙන් ප්‍රංශ සහ ඇමෙරිකානු යටත් විජිතවාදී හමුදා නෙරපා හැරීමේ අරගලයේදී ජනරාල් ගියප් මෙහෙයවන ලද විජයග්‍රාහී සටන් මහජන සම්මානයට ලක්වූවක්.

ඔහුගේ දේහය ඉදිරියේ දණින් වැටෙන ශෝකයට පත් ඇතැමුන් කඳුළු සලනු දක්නට ලැබෙන බවයි වාර්තාකරුවන් පවසන්නේ.

ජනරාල් ගියප්ගේ මරණය පිලිබඳ තොරතුරු දැන ගැනීම සඳහා විදේශීය ප්‍රවෘත්ති ආයතන සහ ජන මාධ්‍යයන් මත රඳා පැවැත්මට සිදු වීම සම්බන්ධයෙන් සමහර වියට්නාම් ජාතිකයන් කෝපයට පත් ව සිටි බවක් ද වාර්තාවෙයි.

රටේ පාලනය හිමි කොමියුනිස්ට් බලධාරීන්ගෙන් අවසරය ලැබෙන තෙක් බලා සිටීමට සිදු වීම නිසා වියට්නාමයේ බොහෝ රාජ්‍ය මාධ්‍ය ආයතන ජනරාල් ගියප්ගේ අභාවය වාර්තා කර තිබුණේ එම අභාවයෙන් දවසකට පසුවයි.