මහා කුණාටුවක් ඉන්දියාව දෙසට

  • 2013 ඔක්තෝබර් 11
Image caption බලධාරීන් ඉන්දීය ධීවරයන්ට සහ සංචාරකයන්ට උපදෙස් දී තිබෙන්නේ මුහුදින් ඈත්ව සිටින ලෙසයි.

ඉන්දීය බලධාරීහු හෙට සෙනසුරාදා නැගෙනහිර වෙරළ තීරයට එල්ල වීමට ඉඩ ඇති දරුණු කුණාටුව සම්බන්ධයෙන් අවශ්‍ය පූර්ව ආරක්‍ෂක පියවර ගැනීමෙහි නිරත වෙමින් සිටිති.

කුණාටුව පැයට සැතපුම් දෙසිය විස්සක තරම් වේගයකින් ඉන්දියාවේ නැගෙනහිර වෙරළ දෙසට හමා එමින් ඇති බවයි වාර්තා වන්නේ.

‘පයිලින්’ (Phailin) යනුවෙන් නම් කරනු ලැබ ඇති කුණාටුව නිසා බරපතළ හානි සිදු විය හැකි බවට අනතුරු ඇඟවීම් කරනු ලැබ තිබෙන්නේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔරිස්සා ප්‍රාන්තවලටයි.

එම ප්‍රාන්තවල වඩාත් අන්තරායකාරී ස්ථානවල පදිංචි ලක්‍ෂයකට අධික ජනකායක් ඔවුන්ගේ වාසස්ථානවලින් දැනටමත් ඉවත් කරනු ලැබ ඇති බව වාර්තා වෙයි.

විපතට පත් වීමට ඉඩකඩ ඇති ජනතාවට උදව් වීම පිණිස යුද හමුදාව සීරුවෙන් තබනු ලැබ ඇති අතර, බලධාරීන් ඉන්දීය ධීවරයන්ට සහ සංචාරකයන්ට උපදෙස් දී තිබෙන්නේ මුහුදින් ඈත්ව සිටින ලෙසයි.

1999 වසරේ ඔරිස්සාවට එල්ල වූ දරුණු කුණාටුවකින් පහළොස් දහසකට ආසන්න මහජන ජීවිත විනාශයක් වාර්තා වුණි.

එවැනි අත්දැකීම් සහිත ඉන්දියානු බලධාරීන් කියා සිටින්නේ,මෙවර කුණාටුවෙන් මහජන ජීවිත සහ දේපොළ ආරක්ෂා කර ගැනීමට පූර්ව ආරක්ෂක පියවර ගනිමින් ඇති බවයි.