ICC යට අප්‍රිකාවෙන් චෝදනා

Image caption අප්‍රිකානු හවුළේ සහ ICC නියෝජිතයන්.

ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර රැස් වූ අප්‍රිකානු රටවල නායකයෝ ,සිය මහාද්වීපය සහ හේග් නගරයේ , ජාත්‍යන්තර අපරාධ අධිකරණය(ICC) අතර මතුව පවතින අයහපත් සම්බන්ධතාවය ගැන සාකච්ඡා කළහ.

ඉතියෝපියානු අගමැති, හේලිමේරියම් ඩෙසාලෙන් (Hailemariam Dessalegn) අදහස් දක්වමින්,අඩිස් අබාබා සාකච්ඡාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහි යුද්ධයක් නොව, අප්‍රිකානු මැසිවිලි වලට සැබෑ විසඳුම් සපයන මෙන් එම අධිකරණයෙන් ඉල්ලා සිටීම සඳහා වූවක් වන බවයි කියා සිටියේ.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා සහ සුඩාන් ජනාධිපති ඔමාර් අල් බෂීර් මානව වර්ගයාට එරෙහිව අපරාධ සිදු කර ඇති බවට චෝදනා කරමින්, ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ අපරාධ නඩු පවරනු ලැබීම එම රටවල් දෙකේ සාමය සහ සංහිඳියා ප්‍රයත්නයට බාධාවක් වී ඇති බවත් ඉතියෝපියානු අගමැති වරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

අධිකරණ මුක්තිය

Image caption කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා ICC ඉදිරියට කැඳවනු ලැබීමට නියමිතයි.

බලයේ සිටින අප්‍රිකානු නායකයන්ට එරෙහි අධිකරණ ක්‍රියා මාර්ග අත් හිටවන මෙන්, හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලා සිටීමට ද අප්‍රිකානු නායක සමුළුව බලාපොරොත්තු වෙන බවයි වාර්තා වෙයි.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා අප්‍රිකානු සමුළුවේදී හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමින්, එය විග්‍රහ කළේ බටහිර ආණ්ඩුවලට අප්‍රිකාවට ඇතුල් වීම සඳහා පාත්වා ගෙන යන වර්ගවාදී පක්ෂග්‍රාහී ආයතනයක් හැටියටයි.