ජනරාල් ගියප් වෙනුවෙන් රාජ්‍ය අවමඟුල් උළෙලක්

  • 2013 ඔක්තෝබර් 12

අභාවප්‍රාප්ත ජනරාල් වෝ එන්ගුයෙන් ගියප් සෙනෙවියාගේ රාජ්‍ය අවමඟුල් උළෙලේ මුල් අදියර ආරම්භ වීමත් සමග වියට්නාමයේ ඉහළම නායකයන් මියගිය සෙනෙවියාට අවසන් බුහුමන් දක්වමින් සිටින බව නිවේදනය කෙරිණ.

වියට්නාම් භූමියෙන් ප්‍රංශ අධිරාජ්‍යවාදී හමුදා සහ ඇමෙරිකානු හමුදා නෙරපා හැරීමේ සම්මානය හිමිවන්නේ, ජනරාල් වෝ එන්ගුයෙන් ගියප් සෙනෙවියාටයි.

වයස අවුරුදු එකසිය දෙකක් ආයු විඳ දිවියෙන් සමුගත් ජනරාල් ගියප්ගේ දේහය රාජ්‍ය ගෞරව සහිතව හැනෝයි අගනුවර තැන්පත් කර ඇති අතර,හෙට ඉරිදා එය මහ පෙරහරකින් ඔහුගේ උපන් ගමට ගෙන යාමට නියමිතයි.

කිසිදා යුද ඇකඩමියක පුහුණුවක් ලැබ නැති ජනරාල් ගියප් අහසින් යුද පිටියට බට සෙනවියකු ලෙසයි, ඇතැම් විචාරකයන් විසන් හඳුන්වනු ලැබ තිබෙන්නේ.

ඩියෙන් බියෙන් ෆූ

Image caption ජනරාල් ගියප් ප්‍රංශ හමුදාවන්ට එරෙහිව සටන් මෙහෙයවමින්.

ඔහුගේ සටන් කලාවේ සහ යුද උපක්‍රමයේ අපරාජිත පාඩමක් හැටියට යුද ඉතිහාසයේ සටහන්ව ඇති එක් සටනක් වන්නේ ප්‍රංශ හමුදාවන්ට එරෙහිවඑල්ල කළ ඩියෙන් බියෙන් ෆූ ප්‍රහාරයයි.

ශෝකයට පත්ව සිටින දස දහස් සංඛ්‍යාත ජනතාව ගියප් සෙනෙවියාගේ දේහයට අවසන් බුහුමන් දක්වමින් සිටින අතර එක් වියට්නාම් ජාතිකයකු කියා සිටියේ ගියප් එන දෙන නිලධාරියකු පමණක් නොව සහෝදරයකු ද වන බවයි.

වියට්නාම් කොමියුනිස්ට් ව්‍යාපාරයේ නායක හෝ චි මින්ගේ අභාවයෙන් පසු මුළු රට පුරා දරුණු සංවේගයක් ජනිත කල අවස්ථාව ගියප් සෙනෙවියාගේ අභාවය යයි වාර්තාකරුවෝ පවසති.