‘අල්ලා’මැලේසියානු කිතුනුවන්ට තහනම් වචනයක්

Image caption 'අල්ලා' වචනයට තහංචි දැමීම නිදහස උල්ලංඝනය කිරීමක් වන බවයි, මැලේසියානු 'හෙරල්ඩ්'පුවත්පත පෙන්වා දෙන්නේ.

මුස්ලිම් නොවන ජනතාව ‘අල්ලා’යන වචනය භාවිතා කරනු ලැබීම තහනම් කරමින් ප්‍රකාශයට පත් කෙරුණ අධිකරණ නියෝගයක් සම්බන්ධයෙන් මැලේසියාවේ කිතුනු ජනතාව බලවත් කනස්සල්ල පළ කරති.

‘අල්ලා’ යන වචනය මුස්ලිම් නොවන අන්‍යාගමිකයන් විසින් පාවිච්චි කරනු ලැබීම මැලේසියානු ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබයි තිබුණේ.

ආණ්ඩුවේ එම තීරණය තහවුරු කරමින් මැලේසියානු අභියාචනාධිකරණය තීන්දු කළේ කිතුනු සහ වෙනත් ලබ්ධිකයන් විසින් ද එම වචනය භාවිතා කිරීම රටේ මුස්ලිම් ප්‍රජාව අතර ව්‍යාකූලත්වයක් මතු වීමට හේතු වෙන බවයි.

අරාබි වචනයක් වන ‘අල්ලා ‘යන්න බයිබලය ද ඇතුළු තම වෙනත් ප්‍රකාශනවල නිරන්තරයෙන්ම භාවිතා කර ඇති බවයි, මැලේසියානු කිතුනුවන් පෙන්වා දෙන්නේ.

එසේම එම වදන මැදපෙරදිග පුරාම කිතුනුවන් විසින් පාවිච්චි කරන බවත්, මැලේසියානු කිතුනු නායකයෝ කියා සිටිති.

අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුව ආගමික සුළුතරයේ නිදහස මකා දැමීමක් වන බව පෙන්වා දෙමින් එම තීන්දුවට එරෙහිව නැවත අධිකරණ ක්‍රියා මාර්ගයක් ගන්නා බවයි, ‘හෙරල්ඩ්’(Herald) මැලේසියානු කිතුනු පුවත්පත කියා සිටින්නේ.