රත්නගාර් වන්දනාකරුවන්ට ආරක්ෂාවක් තිබී නැහැ

Image caption මියගිය අයගෙන් බහුතරය කුඩා දරුවන් සහ කාන්තාවන් බව වාර්තා වෙයි.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දාතියාහි රතන්ගාර් හින්දු කෝවිලෙහි ආගමික උත්සවයක් පැවැත්වෙද්දී පයට පෑගීමෙන් හෝ දියේ ගිලීමෙන් 115 දෙනකුගේ ජීවිත විනාශ වීම සම්බන්ධයෙන් මහජන කෝපය පළ වෙමින් ඇතැයි ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

මියගිය අයගෙන් බහුතරය කුඩා දරුවන් සහ කාන්තාවන් බවත් ඇතැමුන් පයට පෑගීමෙන් ද,තවත් අය පාලමකින් වැටී දියෙහි ගිලීමෙන් ද මරණයට පත් වූ බවයි වාර්තා කෙරුණේ .

දස දහස් සංඛ්‍යාත ජනකායක් සහභාගී වෙමින් තිබුන ආගමික උත්සවයට අවශ්‍ය ආරක්ෂාව යෙදීමට අසමත් වීම සම්බන්ධයෙන් ඊට වග කිව යුතු බලධාරීන් විවේචනයට ලක් වෙන බවයි, අලුත්ම වාර්තාවන්හි දැක්වෙන්නේ.

බලධාරීන්ට චෝදනා

කෝවිල අසල ඇති පාලමක් කඩා වැටෙමින් පවතින බවට කටකතා පැතිර යාමත් සමඟ මහජනතාව කලබල වීමෙන් පිරිසක් පෑගීමෙන් මරණයට පත් වූ බව ඉන්දීය පොලිසිය ප්‍රකාශ කරයි.

වන්දනාකරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය බැටන් ප්‍රහාර එල්ල කිරීම නිසා මෙම කලබලය ඇතිවූ බවයි,මධ්‍ය ප්‍රදේශ් ප්‍රාදේශීය මාධ්‍යයන්හි පළ කර තිබුණේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ,අනතුරට ලක් වූ ජනතාව සෙවීමේ මෙහෙයුම මේ වන විට නතර කොට ඇති බවයි.

ඉන්දියාවේ ආගමික උත්සව අවස්ථාවන්හි මෙවැනි අනතුරු නිරන්තරයෙන් ම වාර්තා වෙන අතර මෙය පසුගිය වසර හත ඇතුළත වාර්තා වූ මේ ආකාරයේ දෙවැනි දරුණුම ඛේදවාචකයයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර