බ්‍රිතාන්‍යය වීසා ඇපය අකුලා ගනියි

තෙරේසා මේ
Image caption වීසා කල් ඉකුත් වූ පසුවද සංචාරකයන් බ්‍රිතාන්‍යයේ රැඳී සිටීම අඩු කිරීම බ්‍රිතාන්‍යයේ උත්සාහයයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකින් බ්‍රිතාන්‍යයට ඇතුළු වන සංචාරකයන්ගෙන් බ්‍රිතාන්‍ය පවුම් තුන් දහසක බැඳුම්කරයක් අය කිරීමේ සැලසුම අත්හැර දමන බව බ්‍රිතාන්‍ය බලධාරීහු තහවුරු කළහ.

පසුගිය ජුනි මාසයේදී එම වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කළ ස්වදේශ කටයුතු පිලිබඳ ලේකම් තෙරේසා මේ, නොවැම්බර් මාසයේ සිට එය ක්‍රියාවට නැගීමට යෝජිත බවද සඳහන් කළාය.

එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවට නියෝජ්‍ය අගමැති නික් ක්ලෙග් තර්ජනය කිරීමෙන් අනතුරුව සැලසුම අත්හැර දැමීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවයි, විශ්වාස කෙරෙන්නේ.

ඉන්දියාව, පකිස්තානය, බංගලදේශය, නයිජීරියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයන් වීසා බලපත් කල් ඉකුත් වූ පසුවද බ්‍රිතාන්‍යයේ රැඳී සිටීම අඩු කිරීමේ අරමුණින් එවැනි බැඳුම්කරයක් හඳුන්වා දීමයි, ආණ්ඩුවේ උත්සාහය වී තිබුණේ.