ලිබියානු අතුරු හමුදාවලට අගනුවරින් ඉවත් වන නියෝග

  • 2013 නොවැම්බර් 18
Image caption මිස්රාතා සිට පැමිණි සන්නද්ධ කල්ලි අගනුවරින් ඉවත් වන ලෙස ඉල්ලා වීදි බට ජනතාව

ලිබියාවේ මිස්රාතා නුවර සිට පැමිණ ඇති සියලුම අතුරු හමුදා කණ්ඩායම් දින තුනක් ඇතුළත ට්‍රිපොලි අගනුවරින් පිට විය යුතු බව සඳහන් කරමින් මිස්රාතා බලධාරීන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අගනුවර පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ මෙම නිවේදනය ශුභවාදී ලෙස දැකිය හැකි බවයි ට්‍රිපොලි හි සිටින බීබීසී වාර්තාකරු කියා සිටින්නේ.

මිස්රාතා සිට පැමිණි සන්නද්ධ කල්ලි අගනුවරින් ඉවත් වන ලෙස ඉල්ලා වීදි බට ජනතාව සමඟ ඉහත කී කල්ලි සාමාජිකයෝ ගැටුම් ඇති කර ගත්හ.

ටිපොලි නුවර වෙසෙන පියෙකු බීබීසීයට කියා සිටියේ තම පුත්‍රයා සන්නද්ධ කල්ලියක් විසින් පැහැර ගෙන යනු ලැබීමෙන් පසු තවමත් ආගිය අතක් නැති බවයි.

හිටපු නායක ගඩාෆි ට එරෙහිව සටන් වැදුණු සන්නද්ධ අතුරු හමුදා, පවතින රජයේ පාලනයෙන් තොර ව කටයුතු කරමින් සිටින බවයි ලිබියාවෙන් වාර්තා වන්නේ.