නේපාල ඡන්ද විමසීම සාමකාමීව අවසන්

ඡන්දය දීමට පෝලිම් ගැසී සිටින කාන්තාවෝ
Image caption විශාල පිරිසක් ඡන්දය භාවිත කළ බව මැතිවරණ කොමිසම පවසයි

මාවෝවාදී කැරැල්ල නිමා වීමෙන් වසර හතකට පසුව රටට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ මන්ත්‍රණ සභාවක් තෝරා පත් කර ගැනීම පිණිස නේපාලවාසීහු සිය ඡන්දය භාවිත කළහ.

ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවැත්වුණු බව පවසන මැතිවරණ කොමිසම විශාල පිරිසක් ඡන්දය භාවිත කළ බවද ප්‍රකාශ කරයි.

ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ වයෝවෘද්ධ කාන්තාවක්, අනාගතයේදී හෝ නේපාලයේ ජනතාව සාමකාමීව ජීවත් වනු දැකීම තම අභිලාශය බව කියා සිටියාය.

"ඉස්සර වගේ මේ රටේ ගැටුම් නැතුව, ව්‍යවස්ථාවක් ඇති කර ගෙන ජීවත් වෙන්න ලැබේවි කියල මම බලාපොරොත්තු වෙනවා. වයස්ගත මම මැරිලා ගියත්, අපේ දරු මුනුපුරන්ටවත් ව්‍යවස්ථාවක් යටතේ ජීවත්වෙන්න ලැබෙනව නම් ලොකු දෙයක්," යනුවෙන් ඇය පවසන්නීය.

මේ අතර අද උදෑසන කත්මන්ඩු අගනුවර බෝම්බයක් පුපුරා යාමෙන් අට හැවිරිදි දරුවකු ඇතුළු තිදෙනකුට තුවාල සිදු විය.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුලදී බෝම්බ ප්‍රහාර මාලාවක්ම එල්ල වූ අතර, මැතිවරණයට විරුද්ධ පිරිස්වලට එම ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ මන්ත්‍රණ සභාවක් පත් කර ගැනීම පිණිස නේපාලය මෙවර ඡන්දය භාවිතා කරන්නේ දෙවැනි වතාවට.

දේශපාලන පක්ෂ අතර දිගින් දිගටම හට ගත් කඹ ඇදීම් හේතුවෙන් පළමු මන්ත්‍රණ සභාව පසුගිය වසරේ විසුරුවා හැරිණ.