ඕස්ට්‍රේලියා-ඉන්දුනීසියා ඒකාබද්ධ හමුදා මෙහෙයුම් නවතයි

ටෝනි ඇබට් සහ සුසිලෝ බම්බන්ග් යුධෝයෝනෝ
Image caption චෝදනා පිළිබඳව පූර්ණ ප්‍රතිචාරයක් පළ කරන බව ඕස්ට්‍රේලියාවේ අගමැති පවසයි

ඕස්ට්‍රේලියාවට නීති විරෝධී සංක්‍රමණිකයන් ඇතුළු වීම වලකා ලීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ හමුදාව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම ඉන්දුනීසියාවේ ජනාධිපති සුසිලෝ බම්බන්ග් යුධෝයෝනෝ විසින් අත් හිටවනු ලැබ තිබේ.

ජනාධිපති යුධෝයෝනෝ එම තීරණය ගනු ලැබුවේ ඕස්ට්‍රේලියාව ඔහුගේ දුරකථන සංවාද වලට රහසින් සවන් දෙන බවට මාධ්‍ය වාර්තා පළ වීමෙන් අනතුරුවයි.

මීට අමතරව ද්විපාර්ශ්වික හමුදා මෙහෙයුම් හා රහස් ඔත්තු හුවමාරුවද තාවකාලිකව අත් හිටුවා තිබේ.

මතු වී තිබෙන තත්වය පිළිබඳව අදහස් දැක්වූ ඉන්දුනීසියාවේ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ අර්බුදය විසඳීමේ වගකීම පවතින්නේ ඕස්ට්‍රේලියාවට බවයි.

"මොකද ඒගොල්ලන්ගේ ඔත්තු බැලීමේ වැඩපිළිවෙලේ ප්‍රතිපලයක් විදියට මේ වාතාවරණය ඇති කළේ ඕස්ට්‍රේලියාව. මේක අපි බොහොම බැරෑරුම්ව සලකන දෙයක්," යනුවෙන් ඔහු කියා සිටියේය.

දුරකථනවලට රහසේ කන් දුන් බවට පළ වූ වාර්තා පිළිබඳව කෝපාවිෂ්ඨ ප්‍රතිචාරයක් පළ කළ ඉන්දුනීසියාවේ පාලනය එයට හේතු පැහැදිලි කරන මෙන් ඕස්ට්‍රේලියාවට දන්වා තිබේ.

ඒ සම්බන්ධයෙන් පූර්ණ ප්‍රතිචාරයක් පළ කරන බව ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට් ප්‍රතිඥා දුන්නේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර