විෂ සහිත අප ද්‍රවය දැවැන්ත ගැට‍ළුවක්

  • 21 නොවැම්බර් 2013
waste-ghana

ලොව පුරා විසි කෝටියක් පමණ ජනතාව විෂ සහිත අපද්‍රව්‍ය වලට ගොදුරු වී ඇති බව වාර්තාවකින් හෙළිදරව් වී ඇත.මෙම විෂ සහිත අපද්‍රවය වලින් ජනතා සෞඛ්‍යයට එල්ල වෙන තර්ජනය ක්ෂය රෝගය සහ මැලේරියාව වැනි අසනීප වලින් එල්ල වන අනතුරට සමාන බව වාර්තාවේ සම්පාදකයෝ පෙන්වා දෙති.

මෙම අධ්‍යනය සිදු කළ බ්ලැක් ස්මිත් ආයතනය සහ ග්‍රීන් ක්‍රෝස් සංවිධානය කියා සිටින්නේ, ගැටලුව පාලනය කිරීම සඳහා දැනට වඩා වැඩි යමක් කල යුතු බවයි.

රටවල් හතළිස් නමයක දී ස්ථාන තුන්දහසක දීයි මෙම අධ්‍යනය සිදු කොට තිබෙන්නේ.

ඉහත කී අධ්‍යයනයට ශ්‍රී ලංකාවත් ඇතුල් වූ බව,බ්ලැක් ස්මිත් ආයතනයේ පර්යේෂකයෙක් සහ නිව්යෝර්ක් හි ‘ සිටි’ විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍යය පිළිබඳ මහාචාර්ය ජැක් කැරවානොස් බී බී සී යට කියා සිටියේය.

ශ්‍රි ලංකාවේ පාරිසරික අපද්‍රව්‍ය හේතුවෙන් මතු වෙන ගැට‍ළු පිළිබඳ කළ විමසුමකට පිළිතුරු දුන් මහාචාර්ය ජැක් කැරවානොස් කියා සිටියේ, ආසියානු කලාපයේ සෙසු නගරවල තිබෙන ගැට‍ළු ශ්‍රී ලංකාවටත් පොදු බවයි.

විශේෂයෙන්ම බැටරි වල ඊයම් ලබා ගැනීමට ගන්නා උත්සාහයේ දී පරිසරයට විෂ එක් වීමට ඇති ඉඩකඩ ශ්‍රී ලංකාවේ දී දැකිය හැකි බව මහාචාර්ය ජැක් කැරවානොස් පෙන්වා දෙයි. ලෝක බැංකුව සහ ලෝක සෞඛ්‍යය සංවිධානය එක් ව සිදු කොට ඇති අධ්‍යනයක් මගින් සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ සිදු වෙන මරණ වලින් සියයට විසි තුනක්ම සිදුවන්නේ, පරිසර දූෂණය ඇතුළු පාරිසරික සාධක හේතුවෙන් බව අනාවරණය වී ඇත.