ශ්‍රී ලංකා සංචාර නතර කරන්නේ නැහැ - ජෙයපාලන්

තමා ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාර කිසිවකුට නතර කළ නොහැකි යයි ඊයේ රටින් පිටුවහල් කෙරුණ ජෙයපාලන් කවියා පවසයි.

ඔහු එම ප්‍රකාශය කෙළේ, බීබීසී 'තමිලෝසේ' වැඩ සටහන සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින්.

ජෙයපාලන්, ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබුනේ, සංචාරක වීසා බලපතකින් එහි ගොස් සිටියදී, මාධ්‍ය සාකච්ඡා ආදියට හවුල් වී යයි චෝදනා කරමින්.

එහෙත් සිය මවගේ සොහොන කරා යමින් සිටියදී ත්‍රස්ත විමර්ශන අංශය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලද බවයි, ජෙයපාලන් කවියා පවසන්නේ.

'ශ්‍රී ලංකාව මගේ රට'

බීබීසී 'තමිලෝසේ' සමඟ සිදු කළ සාකච්ඡාවේදී ඔහුට එරෙහිව ඉදිරිපත් කෙරුණ චෝදනා පිළිබඳව විමසූ විට ජෙයපාලන් කියා සිටියේ, තමා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සොයා නො ගිය අතර මාධ්‍ය තමා සොයා ආ බවයි.

ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝනය කළ බවට තමාට එරෙහිව නැගෙන චෝදනා සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දැක්වූ ජෙයපාලන්, අධිකරණ ඇමති රවුෆ් හකීම්ගේ ප්‍රකාශයක් මගින් තමා එවැනි වරදක් සිදු කර නැති බව සනාථ කෙරෙන බවයි කියා සිටියේ.

එහෙත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදයට පවතින ඉඩකඩ අහෝසි වෙමින් ඇතැයි ද ජෙයපාලන් පවසයි.

අත්අඩංගුවේ සිටියදී ත්‍රස්ත විමර්ශන අංශයේ සහ ආගමන විගමන නිලධාරීන් තමාට හොඳින් සංග්‍රහ කළ බවත් ජෙයපාලන් කවියා සිහිපත් කරයි.

ශ්‍රී ලංකාව තම රට යයි පවසන ජෙයපාලන් කියා සිටින්නේ, යළිත් එහි සංචාරය කරන බවයි.

සිය පාරම්පරික උරුමය සහිත ශ්‍රී ලංකාවේ තමා සිදු කරන සංචාර කිසිවකුට නතර කල නො හැකි බවත් ජෙයපාලන් අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර