ඕස්ට්‍රේලියානු සංක්‍රමණ සිහිනය බිඳ හෙළන දැඩි නීති

  • 4 දෙසැම්බර් 2013
ඉදිරි මූල්‍ය වර්ෂය තුල කිසිවකුට නිත්‍ය රැකවරණ වීසා නොදෙන බවයි ඇමතිවරයා කියා සිටින්නේ.

බෝට්ටු වලින් සිය භූමියට අනවසර සංක්‍රමණිකයන් ලඟා වීම නතර කිරීම සඳහා ඕස්ට්‍රේලියාව මෙතෙක් නො ගත් මට්ටමේ දැඩි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කර ඇත.

සංක්‍රමණ සහ ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්‍ෂාව භාර ඇමති ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ, මිනිසුන් රටින් රටට පැටවීමේ ජාවාරම නතර කර දැමීම සඳහා සිය ආණ්ඩුව නව විධි විධාන මාලාවක් ක්‍රියාවට නංවන බවයි.

ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති එම නව රෙගුලාසි යටතේ, 2013 වසරේ ජූලි 19 වෙනි දිනට පෙර ඕස්ට්‍රේලියාවට ලඟා වී සිටින සියලුම පුද්ගලයන්ට නව දැඩි රෙගුලාසි බලපාන අතර, කිසිවකුට නිත්‍ය රැකවරණ වීසා බලපත් ප්‍රදානය නො කෙරෙන බවයි නිවේදනය කෙරුණේ.

“අනවසරයෙන් බෝට්ටු මගින් අපේ භූමියට පැමිණෙන කිසිවකුට අපේ භූමියේ පදිංචියට කිසිසේත් ම අවසර දෙන්නේ නැතැයි” ස්කොට් මොරිසන් ඇමතිවරයා පවසයි.

ඉදිරි මූල්‍ය වර්ෂය ආරම්භ වන තෙක් නිත්‍ය රැකවරණ වීසා බලපත් නිකුත් කරනු ලැබීම වහාම බල පැවැත්වෙන පරිදි අත් හිටු වීමට, සංක්‍රමණ සහ ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්‍ෂාව භාර ඇමති ස්කොට් මොරිසන් සිය අමාත්‍ය බලතල පාවිච්චි කර ඇති බවයි ප්‍රකාශ වන්නේ.

අව්‍යාජ සංක්‍රමණිකයන්ගේ ඉරණම

ඔස්ට්‍රේලියාවේ රැකවරණ පතා දුෂ්කර මුහුදු ගමනක

දෙසැම්බර් තුන් වෙනිදා ප්‍රකාශයට පත් කරනු ලැබුණ ඉහත කී විධි විධාන, දෙසැම්බර් හතර වෙනිදා පටන් බල පැවැත්වෙන අතර, ජුලි මාසයේ පළමු වෙනිදා පටන් දැනටමත් නිකුත් කරනු ලැබ ඇති 1650 ක් වූ වීසා බලපත් ප්‍රමාණය ඊට සීමා කිරීමට ඇමතිවරයා පියවර ගනු ලැබ ඇත.

“ මේ වැඩ පිළිවෙළේ තේරුම මුහුදු වෙරළේදී රැකවරණ ඉල්ලා සිටින්නන්ට මෙම මූල්‍ය වර්ෂය ඇතුළත වීසා නො දෙන බවයි. ජූලි පළමු වෙනිදා අපේ මූල්‍ය වර්ෂය ආරම්භ වීමත් සමග එම රෙගුලාසි ක්‍රියාවට නැංවීම ආරම්භ කෙරුණා.” යි ඕස්ට්‍රේලියානු ඇමතිවරයා කියා සිටී.

ඕස්ට්‍රේලියාවේ කලින් බලයේ සිටි ලේබර් පක්ෂ ආණ්ඩුව පසු ගිය ජූලි මාසයේ පැපුවා නිව්ගිනියාවත් සමඟ අනවසර සංක්‍රමණිකයන් වෙනත් භූමියක රඳවා තැබීමට මඟ සැලසෙන ගිවිසුමක් අත්සන් කළ අතර, ඊට පෙර බෝට්ටු මගින් පැමිණි තිස් තුන් දහසකටත් නව රෙගුලාසි බල පැවැත්වෙන බවයි ප්‍රකාශ වන්නේ.

සංක්‍රමණ සහ ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්‍ෂාව භාර ඇමති ස්කොට් මොරිසන් සමඟ ඕස්ට්‍රේලියාවේ ඒ.බී.සී, රූපවාහිනිය පැවැත් වූ සාකච්ඡාවක දී, සැබෑ පිළිසරණ පතන්නන්ට නව රෙගුලාසි යටතේ අත් වෙන ඉරණම ගැන ප්‍රශ්න කළ විට ඇමතිවරයා කියා සිටියේ, කලින් ආණ්ඩුව විසින් ප්‍රදානය කරනු ලැබ ඇති තාවකාලික වීසා යටතේ ඔවුන් රඳවා තබන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර