මැන්ඩෙලාගේ අවමගුල පහළොස් වැනිදා

Image caption 'රටවැසියන් ගෙන් සහ විදේශවලින් පළ වන ආදරය පෙර නොවූ විරූ තත්වයක්'

සතියක ශෝක කාලයක් හමාරයේ, අනූ පස් වැනි වියේදී අභාවප්‍රාප්ත වූ දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අවමංගල්‍ය උත්සවය ලබන දෙසැම්බර් 15 වැනි දින පවත්වන බව දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකබ් සූමා නිවේදනය කළේය.

නැගෙනහිර කේප් හි පිහිටි ඔහුගේ පාරම්පරික නිවසේදී අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතයි.

ලබන ඉරිදා ජාතික යාඥා දිනයක් ලෙසින් නම් කොට තිබෙන අතර, කතෝලික දේවස්ථානවල, මුස්ලිම් පල්ලිවල, විහාරස්ථානවල, යුදෙවු දේවස්ථානවල, ශාලාවල සහ සිය නිවාසවල මැන්ඩෙලා වෙනුවෙන් ශෝක වී ඔහුගේ ජීවිතයේ ලැබූ ජයග්‍රහණ පිළිබඳව සිතා ප්‍රීති වන මෙන් ජනාධිපතිවරයා රට වැසියන් ගෙන් ඉල්ලා සිටියේය.

වෛරය පරාජය කිරීම

ඉන් අනතුරුව ජොහැන්නස්බර්ග් නුවර අවට පිහිටි පාපන්දු ක්‍රීඩාංගනයේදී ලබන දහ වැනි දින ජාතික ශෝක දේව මෙහෙයක්ද පැවැත්වීමට නියමිතයි.

දේව මෙහෙයෙන් අනතුරුව මැන්ඩෙලා ගේ දේහය දින තුනක් රාජ්‍ය ගෞරව සහිතව ප්‍රිටෝරියා නුවර තැන්පත් කොට තැබීමට නියමිතව තිබේ.

සිය ප්‍රධානත්වයෙන් මැන්ඩෙලාට ගෞරාවාචාර පුද කෙරෙමින් පවතින අතරවාරයේ ප්‍රකාශයක් කළ ජනාධිපති සූමා, නව ජාතියක් සහ රටක් ගොඩ නැගීම පිණිස වෛරය පරාජය කිරීමට හැකියාව තිබෙන බව මැන්ඩෙලා දකුණු අප්‍රිකානු වාසීන්ට පෙන්වා දුන් බව කියා සිටියේය.

"රටවැසියන් ගෙන් සහ විදේශවලින් පළ වන ආදරය පෙර නොවූ විරූ තත්වයක්. මැඩීබා මොන වගේ නායකයෙක්ද යන්න එයින් ප්‍රදර්ශනය වෙනවා," බවයි, ජනාධිපතිවරයා පවසන්නේ.

මැන්ඩෙලාගේ වියෝව පිළිබඳව ශෝක වන අතරම, ඔහුගේ ජීවිතය පිළිබඳව ප්‍රීති විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර