බංග්ලාදේශ ඉස්ලාමීය නායකයා එල්ලා මරා දැමීම කල් දැමේ

  • 2013 දෙසැම්බර් 10
Image caption අබ්දුල් කාදර් මුල්ලා අඟහරුවාදා රාත්‍රියේ එල්ලා මරා දැමීමට නියමිතව තිබිණ

1971 බංග්ලාදේශ නිදහස් සටනේදී මානව වර්ගයාට එරෙහි අපරාධ සිදු කිරීමේ චෝදනාවලට වැරදි කරු වූ ඉස්ලාමීය නායකයකු අද රාත්‍රියේ එල්ලා මරා දැමීමට නියමිතව තිබුණත්, එය බදාදා උදෑසන දක්වා කල් දැමීමට අධිකරණය නියෝග කළේය.

ජමාට් ඉ ඉස්ලාමි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන හැට පස් හැවිරිදි අබ්දුල් කාදර් මුල්ලා, ඉදිරි පැය කිහිපය ඇතුලත එල්ලා මරා දමන බව මීට කලින් බංග්ලාදේශ බලධාරීහු ප්‍රකාශ කළහ.

අබ්දුල් කාදර් මුල්ලා ස්ත්‍රී දූෂණ සහ මනුෂ්‍ය ඝාතන චෝදනාවලට වැරදිකරු බව බංග්ලාදේශ ආණ්ඩුව විසින් ස්ථාපිත කරන ලද විශේෂ අධිකරණයක් තීන්දු කළේය.

අවසාන වතාවට ඔහු බැලීමට අවසර දෙන මෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉල්ලීමක් කොට තිබූ බවද වාර්තාවල සඳහන් විය.

මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොදී දඬුවම ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව මානව හිමිකම් සංවිධාන පවසති.