යුක්‍රේනයේ තත්වය තවත් දරුණු අතට

කියෙෆ් අගනුවර ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ පෙරට යමින් පවතින ස්ථාන වලින් පොලිසිය ඉවත් කර ගත් බව යුක්‍රේනයේ බලධාරීහු පවසති.

සති කීපයක් පෙරට යමින් තිබුණ ව්‍යාපාර මැඩලීමට මෙතෙක් ගනු ලැබුණ දැවැන්තම ප්‍රයත්නයට විරෝධය දක්වමින්, කියෙෆ් නගර ශාලාව අල්ලා ගෙන සිටින උද්ඝෝෂකයන් තමන් ඉන් ඉවත් කිරීමට තැත් කළ පොලිස් භටයන්ගේ හිසට හිම මිදෙන මට්ටමේ ශීතල වතුර වත් කළ බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේ ගැටුම් මගින් දෙපාර්ශවයටම තුවාල සිදු වී තිබුණි.

යුක්‍රේන් විපක්ෂයේ නායකයන් නිදහස් චතුරශ්‍රයේ අඛණ්ඩ උත්සාහයක නිරත වෙමින් සිටින විරෝධතාවාදීන් අගයමින් ඔවුන් අමතා කතා කළ බවත් වාර්තා වෙයි.

ඔවුන් යළිත් කියා සිටියේ ජනාධිපති වික්තර් යනුකොවිච් පදවියෙන් ඉවත් ව යා යුතු බවයි.

මේ අතර ප්‍රකාශයක් කරන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, විරෝධතා වාදීන්ට එරෙහිව බලය පාවිච්චි කරනු ලැබීම පිළිකුල් සහගත යයි පවසමින්,සංයමයෙන් ක්‍රියා කරන මෙන් ඉල්ලා සිටියි.