relatives of disappeared people
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සොයා ගැනීමට නොහැකිවුවොත් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට වන්දි

අතුරුදහන්වූවන් සොයා ගැනීමට නොහැකිවුවොත් ඔවුන්ගේ ඥාතීන් සඳහා වන්දි ගෙවන ලෙස රජයට නිර්දේශ කරන බව උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන් සොයා බැලීමේ ජනාධිපති කොමිසම පවසයි.

එල්ටීටීඊ සංවිධානය මගින් අතුරුදහන් කළ බව පවසන උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් එක සිය හතලිස් අට දෙනෙකුගේ පැමිණිලි බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනුයි කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මෙම අදහස් පළ කළේ.

"අපට ආරංචි ලැබිල තියෙනවා සමහර අය තොරතුරු දීමට බියවෙනවා කියල. මොකද නොයෙක් නොයෙක් අය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළහම තමන්ට තර්ජන ඇති වෙනවයි කියල. එහෙම දෙයක් සිදු වුනොත් අපිට පැමිණිලි කරන්න," සභාපති පරණගම ප්‍රකාශ කළේය.

මියගිය හා අතුරුදහන්වූවන්ගේ දෙමාපිය එකමුතුව පැමිණිලි ඒකරාශී කර තිබු අතර ඔවුන් සමග මෙම පැමිණිලි භාර දීමේ අවස්ථාවට අතුරුදහන් වූ හා මියගිය බව පවසන පුද්ගලයන්ගේ ඥාතීන් සිය දෙනෙක් පමණ එක්ව සිටියහ.

එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද ජයමාන්න පැමිණිලි භාර දෙන අවස්ථාවේ සභාව අමතමින් පවසා සිටියේ වසර තුනක පමණ සිට දකුණේ පමණක් ක්‍රියා කරමින් සිටි තම සංවිධානය උතුරේ ද එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් නිසා අතුරුදහන් වූ පිරිස් සිටින නිසා ඔවුන් සම්බන්ධයෙන් ද මේ වන විට කටයුතු කරන බවයි.

පරීක්ෂණ

"අපි ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටින්නේ මේ පුද්ගලයෝ එල්ටීටීඊ සංවිධානය විසින් අර ගෙන ගිහිල්ල. ඔවුන් පිළිබඳව කිසිම තොරතුරක් මේ වෙන කම් නැහැ, ඒ නිසා මීට වග කිවයුත්තන් සිටිනවා නම් ඔවුන්ට දඬුවම් ලබා දෙන්න, නැතිනම් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වල ඒ පවුල්වලට යම්කිසි සහනයක් ලබා දෙන්න කියන එකයි," අතුරුදහන්වූවන්ගේ දෙමාපිය එකමුතුවේ කැඳවුම් කරු ආනන්ද ජයමාන්න පැවසුවේය.

මෙහි පැමිණි සිට අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගෙන් පිරිසක් කොමිසම ඉදිරියේ අදහස් දැක් වූහ.

තම නැන්දම්මා අතුරුදහන් වූ බව පැමිණිලි කළ මඩකලපුව සිට පැමිණි ආර් රාජේෂ්වරී කොමිසම ඉදිරියේ පැවසූවේ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් නිසා සිය ගණනක් වූ තම ප්‍රදේශයේ ජනතාව අතුරුදහන් වූ බවයි.

මේ වන විට තම ප්‍රදේශයේ ජනතාව දුක් විදිමින් සිටින නිසා ඔවුන්ගේ ජීවන තත්වය නැංවීමට ආධාර ලබා දෙන ලෙස ඇය කොමිසමින් ඉල්ලා සිටියාය.

එවිට කොමිසම කියා සිටියේ තමන්ට එලෙස ආධාර ලබා දීමට බලයක් හෝ හැකියාවක් නොමැති බවයි.

එක්දහස් නවසිය අනු දෙකේ දී අතුරුදහන් වූ තම පුත්‍රයා පිලිබඳව පැමිණි කල වයි. තවෙන්ද්‍රන් පැවසුවේ තම ප්‍රදේශයේ හමුදාව හා එල්ටීටීඊ අතර ඇතිවුන ගැටුම් හේතුවෙන් තමන් අවතැන්වූ බවත් එහිදී තම පුත්‍රයා අතුරුදහන් වූ බවයි. තම පුත්‍රයා අතුරු දහන්වීමට කුමන පාර්ශවය සම්බන්ධ දැයි තමන් නොදන්නා බවද ඇය පැවසුවය.

පොන්නුචාමි පොහවතී පැවසුවේ තම දහ හත් හැවිරිදි පුත්‍රයා දෙදහස් හතර වසරේ දී එල්ටීටීඊ සංවිධානය විසින් පැහැර ගෙන ගොස් මරා දැමු බවයි.

ආධාර

මෙහි දී අදහස් දැක්වූ බොහෝ දෙනා තමන් ආර්ථිකව ඉතා දුෂ්කර තත්වයක සිටින නිසා තමන්ට මූල්‍යමය උපකාරයක් කරන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටියහ.

මෙහි පරීක්ෂණ පවත්වන කණ්ඩායම් පිලිබඳව සංදේශය කළ විමසුමක දී කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම පැවසුවේ වර්තමාන ආරක්ෂක අංශවල නිලධාරින් පරීක්ෂණවලට සම්බන්ධ කර නොගන්නා බවයි.

පල පුරුදු විශ්‍රාම ගිය නිලධාරීන් පිරිසක් හා විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හදාරන අවසන් වසර ශිෂ්‍යයන් මෙයට සම්බන්ධ කර ගැනීමට බලපොරොත්තුන්වන බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.

වර්තමාන ආරක්ෂක අංශ නිලධාරීන් මෙම පරීක්ෂණවලට සම්බන්ධ කර නොගැනීමට හේතුව කුමක්දැයි සංදේශය කල විමසුමක දී ඔහු පැවසුවේ වර්තමාන ආරක්ෂක අංශවල පුද්ගලයන් ඊට යොදා ගහතොත් පැමිණිලිකරුවන් ඉන් සැහීමකට පත් නොවන නිසා තමන් එම තීරණයට එළඹී බවයි.

සංදේශයක්

මෙහිදී සංදේශය මියගිය හා අතුරුදහන් වූ දෙමාපිය එකමුතුවේ කැදවුම්කරු ආනන්ද ජයමාන්න ගෙන් විමසුවේ රජයේ පාර්ශවයෙන් අතුරුදහන් කළ බව පවසන පුද්ගලයන්ගේ ඥාතීන් මෙම එකමුතුවට එක් කර ගැනීමට බලපොරත්තුවන්නේද යන්නයි.

"මෙතන දෙපාර්ශවයම ඉන්නවා, අපි කොමිසමෙන් ඉල්ලන්නේ පරීක්ෂණයක් කරලා සාධාරණයක් කරන්න කියල. කවුද මේකට වග කිව යුත්තේ කියන්න කියල," ඔහු පැවසුවේය.

අද සවස මෙම මෙම පිරිස විසින් එල්ටීටීඊ සංවිධානයෙන් සන් විධානයෙන් අතරුදහන් කළ පුද්ගලයන් පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා ඇමරිකානු තානාපති කාර්යාලයට සංදේශයක් ද බාරදෙන ලදි.