උතුරු කොරියානු නායකයාගේ නැන්දණිය තවමත් බලාධිකාරියේ

  • 2013 දෙසැම්බර් 15
Image caption කිම් කියෝන්ග් හුයි (දකුණේ) පිළිබඳව රාජ්‍ය මාධ්‍ය කිසිවක් සඳහන් කොට නැහැ

රාජද්‍රෝහී චෝදනා යටතේ අනපේක්ෂිත ලෙසින් මරණ දඬුවම පණ වනු ලැබූ ජැන්ග් සොංග් තායෙක් ගේ බිරිඳ තවදුරටත් බලාධිකාරියට සමීපව රැඳී සිටින බව පෙනෙන්නට තිබේ.

ජැන්ග් සොංග් තායෙක් විවාහ වී සිටියේ උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ගේ පියාගේ සොහොයුරිය වන කිම් කියෝන්ග් හුයි සමඟයි.

සිය සැමියා ට මරණ දඬුවම පණ වනු ලැබීමෙන් අනතුරුව, පසුගිය සිකුරාදා මියගිය නිලධාරියකු වෙනුවෙන් පැවැත්වෙන රාජ්‍ය අවමගුල් උත්සවයේ සංවිධායක කමිටුවට නායක කිම් ගේ නැන්දණිය ද ඇතුලත් කරනු ලැබ තිබේ.

ජැන්ග් සොංග් තායෙක්ගේ අනුගාමිකයන් විශාල පිරිසකටද මරණ දඬුවම පැණ වෙනු ඇතැයි විශ්වාස කෙරෙන අවස්ථාවක නැන්දණිය අදාළ කමිටුවට පත් කිරීම, උතුර කොරියානු නායකත්වය තවදුරටත් ඇය පිළිබඳ විශ්වාසය තබා තිබෙන බව දැක්වෙන සංඥාවක් ලෙස සැලකේ.

මීට වසර දෙකකට ඉහතදී බලයට පත් වීමෙන් අනතුරුව, මරණ දඬුවමට ලක් වූ මාමා සහ ඔහුගේ බිරිඳ උතුරු කොරියාවේ නායකයාට ගුරු හරුකම් දෙමින් ඔහු මෙහෙයවූ සමීපම ඥාතීන් ලෙසිනුයි විශ්වාස කෙරුණේ.

කිම් කියෝන්ග් හුයි පිළිබඳව හෝ සිය සැමියා අත් අඩංගුවට ගැනීමේ කාර්යයේදී ඇය කිසියම් කාර්ය භාරයක් ඉටු කළේද යන්න පිළිබඳව උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය කිසිවක් සඳහන් කොට නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර