බ්‍රිතාන්‍යය වහල් ජාවාරම් කරුවන් දඩයමක

Image caption වහලුන් හැටියට මිනිසුන් විකිණීම ලාභ දායක ජාවාරමකි.

වහල් මෙහෙය පිණිස කාන්තාවන්, පුරුෂයන්, සහ දරුවන් විකිණීමේ ජාවාරමේ නිරත වීම සම්බන්ධයෙන් වැරදි කරුවන් වන පුද්ගලයන්ට නියම කෙරෙන උපරිම දඬුවම ජීවිතාන්ත සිර දඬුවමක් බවට ගෙන ඒමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව යෝජනා කරයි.

එමෙන්ම, එවැනි අපරාධ කරුවන්ට විශාල දඩ මුදල් නියම කිරීමත්, වහල්භාවයට එරෙහිව පියවර ගැනීම සඳහා කොමසාරිස්වරයකු පත් කිරීමත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති කෙටුම්පතට ඇතුළත් යෝජනා වෙති.

යාවජීව සිර දඬුවම්

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර ඇමතිනී තෙරේසා මේ (Theresa May) බීබීසියට අදහස් දක්වමින්, පුද්ගලයන් විකිණීමේ ජාවාරමේ යෙදෙන්නන් අල්ලා ගන්නා බව සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ යොදවමින් ඔවුන්ගේ දේපොළ රාජසන්තක කරන බව සිය ආණ්ඩුව එවැනි අපරාධවල නිරත වන්නන්ට දෙන පණිවිඩය වන බවයි කියා සිටියේ.

Image caption රටින් රටට විකිණෙන මිනිසුන්

“කොයි තරම් පිරිසක් මෙවැනි අපරාධ කරනවා ද , කොපමණ පිරිසක් ඔවුන්ට ගොදුරු වෙලා ඉන්නවා ද කියල කිසි කෙනෙක් දන්නේ නෑ. නමුත් බ්‍රිතාන්‍ය සමාජයේ ඒ ගැන තොරතුරු දැන් වැඩි වැඩියෙන් අනාවරණය වෙමිනුයි පවතින්නේ. ඒ නිසා පුද්ගලයන් වහල් මෙහෙයේ යොදවන්නට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව වැඩි කර ගැනීමයි ආණ්ඩුවේ අරමුණ.” ඇමතිවරිය පවසන්නීය.

වහල් මෙහෙයට ගොදුරු වූ දස දහසකට ආසන්න පිරිසක් බ්‍රිතාන්‍යයේ වෙසෙන බවයි, ආණ්ඩුවට ඉදිරිපත් කොට ඇති සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වන්නේ.