දිල්ලි දූෂණ අපචාරයේ පළමු සංවත්සරය අද

දිල්ලි අගනුවර බස් රථයක දී සමූහ දූෂණයකින් ශිෂ්‍යාවක් මරා දමනු ලැබීමේ සිද්ධියට අද සඳුදාට අවුරුද්දක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ඉන්දියාව පුරා සමරු වැඩ සටහන්වල නිරත වෙමින් සිටිති.

මෙයින් වසරකට පෙර සිදු කෙරුණ එම අපරාධය ජාතික මට්ටමින් ඉන්දියානු මහජන කෝපය පැතිර යාමට සහ විශාල උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරනු ලැබීමට හේතු විය.

ඉන්දීය සමාජය තුළ කාන්තාවන්ට සලකනු ලබන ආකාරය සම්බන්ධයෙන් රට තුළ විවාදයක් ආරම්භ වීමට හේතු වූ දිල්ලි දූෂණ අපරාධය, ලිංගික හිංසාවන්ට එරෙහි නව නීති දැඩි කිරීමට ද හේතු විය.

දූෂණයට ලක් ව මරණයට පත් ශිෂ්‍යාව බස් රියට ගොඩ නැගුණ ස්ථානයේයි, එක් සමරු වැඩ සටහනක් පෙරට යමින් තිබුණේ.

ජනතා කෝපය

Image caption දූෂණ අපචාරයට එරෙහි මහජන හඬ

සංගීත කණ්ඩායමක් ට්‍රේලරයක නැගී ශිෂ්‍යාව අතවරයට ලක් වූ දින ගමන් ගනිමින් සිටි මාවත ඔස්සේ සංචාරය කරමින් සිටි බවත් දිල්ලි නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

මේ අතර, එම ශිෂ්‍යාවගේ පවුලේ සාමාජිකයෝ ඇය සිහි කිරීම සඳහා කුඩා සමරු උත්සවයක නිරත ව සිටියහ.

එම පවුලේ සාමාජිකයන් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ, හැකි තාක් කල් ඇය පිළිබඳ මතකය ජීවමාන මට්ටමින් තබා ගැනීම ඔවුන්ගේ අවශ්‍යතාවය බවයි.

ශිෂ්‍යාව දූෂණය කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හතර දෙනකුට පසුගිය සැප්තැම්බර් මාසයේ මරණීය දණ්ඩණය නියම කෙරුණ අතර, එක් චූදිතයෙක් සිර මැදිරිය තුළ මරණයට පත් විය.

පස්වැනි චූදිතයා බාල වයස්කාරයන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක රඳවනු ලැබ සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර