තානාපති නිලධාරිනියට නඩු පැවරීම ගැන ඉන්දියාවේ කෝපය

Image caption 'ඇයට සැලකූ ආකාරය විදේශ අමාත්‍ය කුර්ශීඩ් විග්‍රහ කළේ කිසිසේත්ම පිළි ගත නොහැක්කක් ලෙසින්'

ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක නිවුයෝක් නුවරදී අත් අඩංගුවට ගැනීම පිළිබඳව ඉන්දියාවේ දැඩි කෝපය පළ වෙමින් තිබේ.

ඉන්දීය බලධාරීන් දැනටමත් එයට ප්‍රතිචාරය පළ කිරීමේ ක්‍රියාදාමයන් දියත් කොට ඇති බව වාර්තා වන අතර, දිල්ලි නුවර සංචාරයක නිරතව සිටින ඇමෙරිකානු කොන්ග්‍රසයේ දූත මණ්ඩලයක් හමුවීම දේශපාලන නායකයන් පිරිසක් ප්‍රතික්ෂේප කළහ.

වීසා විධිවිධාන උල්ලංඝනය කිරීම සහ සිය මෙහෙකාරිය ඇමෙරිකාවට ගෙන්වා ගැනීම පිණිස ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රයේ ව්‍යාජ තොරතුරු සඳහන් කිරීම යටතේ නිවුයෝක් නුවර ඉන්දියාවේ නියෝජ්‍ය කොන්සල් ජනරාල් දිව්‍යානි කෝබ්‍රාගාඩේට එරෙහිව නඩු පවරනු ලැබීමෙන් අනතුරුවයි, ඉන්දීය බලධාරීන් එසේ විරෝධය පළ කළේ.

දිව්‍යානි කෝබ්‍රාගාඩේ අත් අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ඇයට ප්‍රසිද්ධියේ මාංචු දමා රැගෙන ගිය බව වාර්තා වී ඇතැයි දිල්ලි නුවර සිටින බීබීසී වාර්තාකරු සන්ජෝයි මජුම්ඩර් පවසයි.

"ඇයගේ ඇඳුම් ගලවා පරීක්ෂා කොට අපරාධකරුවන් සමඟ එකට කූඩුවකට දමා ඇති බවත් පැවසෙනවා. ඇයට සලකන ලද ආකාරය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් විග්‍රහ කළේ කිසිසේත්ම පිළි ගත නොහැක්කක් ලෙසින්," බවද ඔහු පවසයි.

ඉන්දීය නිලධාරිනිය අත් අඩංගුවට ගැනීමේදී නිසි ක්‍රියාදාමය අනුගමනය කරන ලද බවයි, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර