ඉන්දීය හමුදා භටයන් දකුණු සුඩානයේදී මරා දැමේ

  • 2013 දෙසැම්බර් 20
Image caption ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඉන්දීය සාමසාධක හමුදා භටයන් 43 දෙනකු එහි ආරක්ෂාවට යොදවා තිබුණි

දකුණු සුඩානයේ ජෝන්ග්ලෙයි (Jonglei) පළාතේදී එක්සත් ජාතීන්ගේ සංකීර්ණයකට එල්ල වූ ප්‍රහාරයකින් ඉන්දීය සාම සාධක හමුදා භටයන් තිදෙනකු මරුමුවට පත් වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නියෝජිත අසෝක් මුකර්ජි පවසයි.

බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ කඩා වැදුණු දකුණු සුඩානයේ දෙවැනි විශාලතම ජනවර්ගය වන නුඑර් (Nuer) ගෝත්‍රයට අයත් කැරලිකරුවෝ, බහුතර ඩින්කා (Dinka) ජනවර්ගයට අයත් සාමාන්‍ය ජනතාව ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළහ.

අකොබෝ නගරයේ පිහිටි කාර්යාලයට ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඉන්දීය සාමසාධක හමුදා භටයන් 43 දෙනකු එහි ආරක්ෂාවට යොදවා තිබුණි.

හිටපු උප ජනාධිපති රියෙක් මචාර් ආණ්ඩුවට එරෙහි කැරැල්ලක් දියත් කළ බවට ජනාධිපති සල්වා කීර් චෝදනා කළ අවස්ථාවේ පටන් රටේ බරපතල ගැටුම්කාරී තත්වයක් පවතී.

පසුගිය ඉරිදා ආරම්භ වූ ගැටුම්වලින් මේ වනවිට 500 කට ආසන්න පිරිසක් මරුමුවට පත් වී තිබේ.

ජුබා අගනුවර මුලින්ම හටගත් ගැටුම් දැන් රටපුරා වෙනත් ප්‍රදේශවලටද පැතිර ගොස් තිබෙන අතර, නුඑර් ගෝත්‍රිකයකු වන උප ජනාධිපතිවරයාට පක්ෂපාතී හමුදා කණ්ඩායමක් ප්‍රචණ්ඩ ක්‍රියාවලට වග කිව යුතු බවයි, ඩින්කා ජනවර්ගයේ සාමාජිකයකු වන ජනාධිපතිවරයා පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර