ජපාන ආරක්ෂක උපාය මාර්ග ගැන චීනයේ නොසතුට

japan military
Image caption හමුදා බලය වැඩිකරන්නේ ජාතික ආරක්ෂාව සඳහා බව ජපානය පවසයි

ජපානය විසින් ප්‍රකාශයට පත්කෙරුණු නව ජාතික ආරක්ෂක උපාය මාර්ග චීනය විසින් දැඩි දෝෂ දර්ශනයට ලක් කොට තිබේ.

චීනයේ “ශින්ග්හුවා” රාජ්‍ය පුවත් ආයතනය වාර්තා කළ ආකාරයට චීන ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක ජෙන් යන්ෂෙන්ග් පවසා ඇත්තේ ජපානය විසින් කර ඇති ප්‍රකාශය කලාපීය රටවල නො ඉවසිල්ලට හේතු වී ඇති බවයි.

ගුවන් ප්‍රහාර සඳහා යොදා ගන්නා නියමුවන් රහිත යානා මෙන්ම ජලයේ සහ ගොඩබිම එකසේ ධාවනය කල හැකි යුධ වාහන මිලදී ගැනීමට අදහස් කරන බව මේ සතිය මුලදී ජපානය විසින් පවසා තිබුණි.

චීනය අදහස් කරන්නේ ජපානය මෙන්ම චීනය ද අයිතිවාසිකම් පෙන්වන නැගෙනහිර චීන මුහුදේ ඇති දුපත් පිලිබඳ මතභේදය ආරවුලකට හැරවීමට තොකියෝව කටයුතු කරන බවයි.

"ජාතික ආරක්ෂාව" පලිහක් කරගෙන

චීනය මෙයට ඉතා තදින් එරෙහි වන බව ජෙන් යන්ෂෙන්ග් වැඩිදුරටත් පැවසීය.

හමුදා බලය වැඩිකිරීම සඳහා ජාතික ආරක්ෂාව හේතුවක් කර ගැනීම ඔහුගේ දැඩි දෝෂ දර්ශණය ට ලක්විය.

ජපන් පාලනයේ පවතින නැගෙනහිර චීන මුහුදේ දුපත් වලට ඉහලින් චීනය විසින් ගුවන් ආරක්ෂක කලාපයක් ප්‍රකාශයට පත් කිරීමෙන් සති කීපයකට පසුවයි ජපානය තම ආරක්ෂක බලය වැඩි කරන බවට ප්‍රකාශ කර තිබුණේ.

ජපන් අගමැති ශින්සෝ අබේ පවසන්නේ තමන්ට අවශ්‍ය වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිවු ගිවිසුම මගින් දැනට දැඩි පාලනය කිරීමකට ලක්ව ඇති ජපාන ආරක්ෂක මෙහෙයුම් වඩාත් පුළුල් පරාසයකට ගෙන යාම බවයි.

මීළඟ පස් අවුරුදු කාලය තුළ මිසයිල නාශක අවි, සබ්මැරීන, දිය-ගොඩ පැදවිය හැකි යුධ වාහන 52 ක්, ඇමරිකානු ගුවන් ප්‍රහාරක යානා, සිරස් අතට ගමනාරම්භ කළහැකි බෝයිං ගුවන් යානා ඇතුළු යුධ උපකරණ රැසක් මිලදී ගැනීමට ජපානය සැලසුම් කර ඇත.